මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.


ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."


ඔන්න අදත් මල් දෙවැටෙන් මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.


සමහර විට මල් දෙවැට සමග එකතු වෙන අපේ යාලුවන්ටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒවා අපිත් සමග බෙදාගන්නවන්ම් අපි හැමෝටම ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් වේවි.

අද මල් දෙවැට සමග එකතු වෙන යාලුවොන්ට කියලා දෙන්න යන්නේ සාර්ථක විවාහ දිවියකට වැදගත් වන කරුණු කිහිපයක්. මේක විවාහ වුණු අයට වගේම විවාහ වෙන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වේවි. මොකද මේ කරුණු වලින් බොහෝමයක් අපේ මල් දෙවැට සමග එකතු වන පෙම්වතුන්ටත් අදාල වෙනවා. කියවා බලා තව මෙයට එකතු වෙන්න ඕන තවත් කරුණු තියෙනවනම් එකතු කරන්න අපේ මල් දෙවැටේ යාලුවන්ටත් පුලුවන්.


1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න.  දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය දුර දිග යාම පමණි.


2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්‍රශ්නය විසඳාගන්න.


3. එක් අයෙකුට දිනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.


4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්‍යවශ්‍යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.


5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.


6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.


7. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.


8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.


9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.


10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.


ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකයි.

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක එකතු වෙන්නේ. මං හිතන්නේ අපේ ගොඩක් යාලුවන්ට මල් දෙවැට වියුණුව අමතක වෙලත් ඇති. ඔන්න අදත් ආදරය ගැන කතාවක් කියන්න යන්නේ. මේ මට ලැබුණ ඊමේල් එකක කතාවක්. මං ඒක පරිවර්ථනය කරලා දාන්නේ.

ඔන්න එක් කාන්තාවක් හවස වැඩ ඉවර කරලා ගෙදර ආවලු. මෙයාට ගොඩක් මහන්සියිලු. ඔන්න එක පාරම ඇයගේ අවුරුදු 5 පමණ වූ කුඩා දරුවා ඈ වෙත දිව ඇවිත් මෙහෙම අහනවලු.


දරුවා : අම්මේ මං ප්‍රශ්නයක් අහන්නද?
මව : හා කියන්න පුතේ.
දරුවා : අම්මේ අම්මට පැයකට කොච්චරක් පඩි හම්බෙනවද?
මව : ඔන්න කිව්ව ඕනෙ නැති පැහිච්චකමක්. දුවනව මගෙන් ගුටි නොකා.


මේ කාන්තාව ටිකක් තරහෙන් සැර කළා. ඊට පස්සේ ඇය මේ ළමයගෙන් මෙහෙම අහනවා.


මව : ඇයි පුතේ එහෙම ඇහුවේ?
දරුවා : අනේ කියන්නකෝ අම්මේ මට ඒක දැන ගන්න ඕන.
මව : ආ දැනගන්නම ඕනේ නම් හිතාගන්නකෝ රුපියල් 50 විතර කියලා.
දරුවා : ආ ඒකනේ.


ඔන්න එහෙම කියපු මේ ළමයා ඔලුව නවාගෙන ටිකක් කල්පනා කරනවලු. ඊට පස්සේ ආයේ මෙහෙම අහනවා. "අම්මේ මට රුපියල් 25 දෙනවද?"


ඔන්න මේ අම්මට හොඳටම කේන්ති ගියාලු. "ඒක තමයි මෙතන බොරු ප්‍රශ්න අහ අහ කැරකි කැරකි හිටියේ. මං මේ දවස තිස්සෙම මහන්සිවෙලා සල්ලි හොයනවා. තව එනවා මෙතන සල්ලි ඉල්ලන්න එක එක බොරු සෙල්ලම් බඩු ගන්න. දුවනවා කාමරේට. ගිහින් නිදාගන්නවා." මේක අහපු මේ කුඩා දරුවා හිමීට කාමරේට ගියාලු.


මේ කාන්තාව ළමය අහපු ප්‍රශ්න ගැන තරහින් හිත හිත හිටියලු. සල්ලි ඉල්ලන්න බොරු ප්‍රශ්න අහන්නත් පුරුදු වෙලා කියලා තරහින් හිටියත් ටික වෙලාවකින් මේ තරහ නිවිලා ගියාලු. ඈ දැන් මෙහෙම කල්පනා කරනවලු. මෙයා හැමදාම මෙහෙම සල්ලි ඉල්ලන්නෙත් නෑනෙ සමහරවිට පොඩි සෙල්ලම්බඩුවක් ගන්න ආසාවක් ඇති. අනික රුපියල් 25 කියන්නේ ලොකු ගානකුත් නෙවෙයි නෙ.


ඔන්න මේ අම්මා රුපියල් 25 කුත් අරන් කාමරේට ගියාලු. "පුතේ ඔයා නිදිද?" අම්මා ඇහුවලු. "නෑ අම්මේ මං නිදි නෑ." පුතා කියනවා.

මව : ඔයා ඒ වගේ ප්‍රශ්න ඇහුවම අම්මට තරහා යනවනේ පුතේ. ආ මෙන්න ඔයාට රැපියල් 25 ක්.


ඔන්න මේක ඇහුන ළමයා එකපාරම නැගිටලා හිනාවක් දැම්මලු. "ස්තුතියි අම්මේ". ඊට පස්සේ අත කොට්ටේ යටට දාලා මොනාද හොයනවලු. දැන් අම්මට පේනවලු කොට්ටේ යට කොල කෑලි, පරන බිල්, ටොෆි කොල වගේ ඒවා තියෙනවා. ඒ අතරේ ඈ දැක්කලු තව සල්ලි වගයකුත් තියෙනවා. මේ අම්මට තවත් තරහා ගියාලු. දැන් මේ ළමයා සල්ලි ගනිනවලු.


මව : ඔයා ළඟ සල්ලි තියාගෙනත් ඇයි මගෙන් තවත් සල්ලි ඉල්ලුවේ.
දරුවා : මට තව සල්ලි ටිකක් මදි වෙලා හිටියේ දැන් හරි.


"අම්මේ මෙන්න ඔයාට රුපියල් 50 ක්. ඔයාගේ කාලෙන් මට පැයක් දෙනවද? අනේ හෙට පැයක් කළින් ගෙදර එනවද? මට අම්මත් එක්ක එකට ඉදන් රෑට කන්න ආසයි." 


අම්මගේ ඇස් කඳුලින් තෙමුනලු. ඈ ඔහුව බදාගෙන සමාව ඉල්ලුවලු.


මේකෙන් අපේ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි අපේ කාලයෙන් අඩුම තරමේ පොඩි වෙලාවක්වත් අපි ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියන එක. අනෙක් අතට අපි හෙට මැරුනොත් අපි වැඩ කරන ආයතනය අපි වෙනුවට වෙන කවුරු හරි ගනීවි. ඒත් අපිට ආදරය කරන අයට ඒක කවදාවත්ම පුරවන්න බැරි හිස් තැනක් වේවි.

කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක එකතු වෙන්න ලැබුනේ. අද මල් දෙවැටේ මාතෘකාව ආදරය. කියවලාම බලන්නකෝ.


ඔන්න එක ගොවියෙක්ට ඕන උනා පුංචි බලු පැටව් හතර දෙනෙක් විකුනන්න. මේ ගැන කියලා ඔහු පොඩි දැන්වීමකුත් වැටේ ගැහුවා. දැන්වීමේ අන්තිම ඇනේ ගහනකොට ඔහුට තේරුණා කවුරුහරි ඔහුගේ කලිසමින් අදිනවා වගේ. ඔහු බිම බැලුවම දැක්කා පොඩි ළමයෙක්ව.


"මාමේ මට ඔයාගෙන් එක බලු පැටියෙක් ගන්න ඕනේ." ළමයා කිව්වා.


"හොදයි", ඔහු ළමයාගේ ඔලුව අත ගෑවා. "මේ බලු පැටව් අයිති වෙන්නේ හොඳ පවුලකට. ඒ නිසා ගාන නම් ටිකක් වැඩියි." ළමයා ටිකක් කල්පනා කරා. ඊට පස්සේ සාක්කුවට අත දාලා සල්ලි අහුරක් අතට ගත්තා. "මේ ටික ඇතිවෙයිද? මට උන් බලන්න පුලුවන් වෙයිද?"


"සත්තකින්ම", ඔහු කීවා. ඔහු එක්වරම සිවුරුහන් බෑවා. ඒ සමගම බෝල වගේ පුංචි බලු පැටව් හතර දෙනෙක් කූඩුවක ඉඳන් දුවගෙන ආවා. මේ පොඩි ලමයා වැටෙන් ඔලුව දාගෙන පොඩි බලු පැටව් දිහා නොඉවසිල්ලෙන් බලන් හිටියා. ඔහු තවත් දෙයක් දැක්කා. ඒ කූඩුවේ ඉඳන් තවත් පුංචි බෝලයක් හෙමින් එන්න උත්සහ කරනවා දැක්කා. ඒ පුංචි බලු පැටියත් අනෙක් අය ළඟට ලං වෙන්න උත්සහ කලා.


"මට එයාව ඕනේ." මේ ළමයා ඒ පොඩි පැටියා දිහාට අත දික් කරලා කිව්වා. මේ ගොවියා පොඩි ළමයා ළඟ දණ ගහලා මෙහෙම කිව්වා. "පුතේ ඔයාට ඒ පැටියා හරි යන්නේ නෑ. එයාට කවදාවත් අනෙක් අය වගේ දුවලා පැනලා සෙල්ලම් කරන්න ලැබෙන්නේ නෑ."


මේක කිව්වම මේ පොඩි ළමයා වැටෙන් මදක් දුරස් උනා. දෙකට නැවිලා කලිසමේ එක කකුලක් උස්සලා ඔහුගේ යකඩ පටි වලින් සවි කරපු බොරු කකුල පෙන්නුවා. පෙන්නලා මෙහෙමෙ කිව්වා. "පේනවද මාමේ මටත් දුවන්න පනින්න බෑ. ඒ වගේම මෙයාටත් ඕන කරන්නේ එයාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්වයි."


කඳුලු පිරුණු නෙතින් මේ ගොවියා වැටෙන් එහා පැත්තේ හිටපු බලු පැටියාව ගත්තා. පරිස්සමෙන් ඌව මේ ළමයාගේ අතින් තිබ්බා. "කීයක් වෙනවද මාමේ?" ළමයා ඇහුවා.


"සතයක්වත් නෑ." ඔහු කීවා. "ආදරයට මිලක් නෑනෙ පුතේ"


ඔන්න ඕකයි අද කතාව. හැම දේටම මිලක් නියම කරන මේ සමාජයේ අද ආදරයටත් මිලක් නියම වෙලා. එහෙම සමාජයක ඉන්න අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය නම් ඉතා වැදගත්. මේ ගැන අපේ මල් දෙවැටේ යාලුවන්ගේ අදහස මොකක්ද?

ඔන්න අදත් මල් දෙවැට එක්ක එකතු වෙන අපේ යාලුවොන්ට කියන්න යන්නේ කතාවක්. අපේ ගොඩක් යාලුවෙන්ට මල් දෙවැටේ ප්‍රතිචාර දක්වන්න කරදරයක් වෙලා තිබුණ Word Verification එකත් ඉවත් කළා. මේ කතාව නම් මම ලියපු එකක් නෙවෙයි. මේ මට ලැබුණ පත්‍රිකාවක තිබුණ කතාවක්. ඒකෙ තියෙන සංවේදීත්වය නිසාම අපේ මල් දෙවැටේ යාලුවෝ එක්ක බෙදා ගන්න එක හොඳයි කියලා හිතුණා. බලන්නකෝ.


ඔන්න එක තාත්තෙකුයි පුතෙකුයි ඉරගල වැටෙන වෙලාවේ, පුංචි දිය පාරක් ළඟ, පුංචි බංකුවක වාඩිවෙලා හිටියා. තාත්තා නම් ටිකක් වයසක කෙනෙක්ලු. පුතා නම් කර උස් වෙච්ච ඉලන්දාරියෙක්ලු. මේ බංකුවේ එහා කොනේ පුතා වාඩිවෙලා හිටියලු. තාත්තාගේ එහා පැත්තේ පොත් ගොඩක් තිබුණලු. පුතා එයාගේ අතේ පොතක් තියාගෙන කියවනවලු. තාත්තා සැරයටියකුත් තියාගෙන ගොම්මන් වෙලාවේ ඉර අවරට යන හැටි බලාගෙන හිටියලු.


ඔහොම බලාගෙන ඉන්නකොට ඔය තාත්තයි පුතයි වාඩිවෙලා ඉන්න බංකුව ගාවට කුරුල්ලෙක් ආවලු. තාත්තා ඒ කුරුල්ලා දිහා ගොඩක් වෙලා බලා ඉඳලා, පුතාගේ පැත්තට හැරිලා පුතාගෙන් මෙහෙම ඇහුවලු.


"පුතේ අර බලන්න අර... ලස්සන කුරුල්ලෙක්. අනේ පුතේ කවුද ඒ කුරුල්ලා. මට පේන්නේ නැහැනේ.."


පුතා බලාගෙන හිටපු පොත පොඩ්ඩක් මෙහෙට කරලා, ආපු කුරුල්ලා දිහා හිමින් සැරේ බැලුවලු. බලලා මෙහෙම කිව්වලු. " තාත්තේ ඒ වැහිළිහිණියෙක්."


එහෙම කියපු පුතා ආයෙමත් පොත කියවන්න පටන් ගත්තලු. තාත්තා ඒ ආපු කුරුල්ලා දිහා හොඳට බලාගෙන හිටියලු. ඒ කුරුල්ලා එහාට යනවලු මෙහාට යනවලු. උගේ චූටි හොටෙන් හිමීට "කිචි බිචි" ගාන්න පටන් ගත්තලු. ඒ එක්කම ආයෙමත් හැරිලා මෙන්න මෙහෙම ඇහුවලු.


"අනේ පුතේ, අර ඉන්න කුරුල්ලගේ නම මොකක්ද?"


"තාත්තේ ඔය වැහිළිහිණියෙක්."


තාත්තා ආයෙමත් පොතට උඩින් ඒ කුරුල්ලා දිහා බලාගෙන හිටියලු. කුරුල්ලා උගේ පුංචි හොටෙන් පොළොව හාරන්න පටන් ගත්තලු. තාත්තා ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා පුතාගෙන් ආයෙමත් මෙහෙම ඇහුවලු. "පුතේ අර කුරුල්ලාගේ නම මොකක්ද.....?"


පුතා තමන් බල බල හිටපු පොත වේගයෙන් වැහුවලු. ගොඩක් තරහා ගිහිල්ලා, වාඩිවෙලා හිටපු බංකුවෙන්  වේගයෙන් නැගිටලා, තාත්තට මෙහෙම කිව්වලු.


"මොන කරදරයක්ද මේක. දැන් මම කී සැරයක් කිව්වද? ඌ වැහිළිහිණියෙක්, වැහිළිහිණියෙක්..... චිඃ...."


කුරුල්ලා ඒ සද්දෙත් එක්ක වේගයෙන් පියාඹලා ගියාලු. තාත්තා පුතා දිහා ගොඩක් වෙලා බලන් ඉඳලා, පුතාට මෙහෙම කිව්වලු.


"පුතේ මං ළඟ තියෙන මේ පොත් ගොඩෙන් අනේ මට අර... නිල් පාට පොත අරන් දෙන්න." කියලා. පුතා උපන් කේන්තියෙන්ම තාත්තා ළඟ තිබුණ පොත් ගොඩ අවුස්සලා, එතන තිබුණ නිල් පාට පොත තෝරලා ගත්තලු. ඒක වෙන පොතක් නෙවෙයි දින පොතක්. තාත්තා පුතාට මෙහෙම කියන්න පටන් ගත්තලු..


"පුතේ ඔය පොතේ මෙන්න මේ පිටුව පෙරළන්න."

පුතා හරිම කේන්තියෙන් ඒ පිටුව පෙරලුවාලු. පුතා  ඒ පිටටුව පෙරලුවාම ඒකේ තිබුණෙ මෙහෙම දෙයක්ලු..


"1988 දෙසැම්බර් 31 (ප.ව. 6.00 ට)
මමයි මගේ පුංචි පුතයි අපේ ගේ ළඟ තිබුණ ගඟ ගාවට ආවා. එතකොට එතනට ආවා වැහිලිහිණියෙක්. අනේ මගේ පුංචි පුතා ඒ වැහිලිහිණියට අත දික් කරලා මගෙන් ඇහුවා ඒ කුරුල්ලා කවුද කියලා. මම පුතාට ආදරෙන් කියලා දුන්නා ඒ වැහිළිහිණියා කියලා. දෙපාරක් නෙවෙයි 27 වතාවක්ම ඇඟිල්ල දික් කරලා ඇහුවා ඒ කුරුල්ලා කවුද කියලා. මම මගේ රත්තරං පුතාට ඒ 27 පාරම ආදරෙන් කියලා දුන්නා ඒ ඉන්නේ වැහිළිහිණියෙක් කියලා."


ඔන්න ඕක තමයි අද කතාව. අපිත් නොදැනුවත්කමින් අපේදෙමව්පියන්ට කොයි තරම් හිත රිදෙන දේ කියලා ඇතිද? මොනවා උනත් මල් දෙවැටෙන් මේ ආදර්ශය අරන් අපේ යාලුවොන්ගෙන් එක්කෙනෙක් හරි හරි මාර්ගයට එනවා නම් ඒකත් මල් දෙවැට ලබපු ලොකු ජයග්‍රහණයක් වේවි.

කාලෙකට පස්සේ තමයි මල් දෙවැට එක්ක එකතු වෙන්න ඉඩක් ලැබුණේ. කාර්‍යබහුලත්වය නිසාම අලුත් ලිපියක් ලියන්න ඉඩක් ලැබුනේ නෑ. ඔන්න අද මල් දෙවැටෙන් ඔයාලා අහන්න යන්නේ ආදර කතාවක්. හැබැයි මේක හිතන තරම් ලස්සන අවසානයක් නැති අනුවේදනීය ආදර කතාවක්.


ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා ආයතනයක වැඩ කළත් මේ දෙදෙනා සතුටින් කල් ගත කළා.


හදිසියේම එක් දවසක් ඇය ඔහුට කිව්වා ඈ විදේශ ගත වන බවත් ආයෙත් මවුබිමට නොඑන බවත්. ඒ සමගම ඈ කීවා ඔවුන්ට පැහැදිලි අනාගතයක් නොපෙනෙන බැවින් ඔවුන්ගේම මාර්ගයක වෙන්වී යන එක හොඳ බව. හදවත බිඳුනු මේ පෙම්වතා අවසානයේ මීට එකඟ උනා. ආයෙත් තම සිත ශක්තිමත් කරගත් ඔහු උත්සහයෙන් මහන්සියෙන් හා යහලුවන්ගේ උදවුවෙන් තමන්ගේම කියා කුඩා ආයතනයක් ආරම්භ කළා. දිනෙන් දින ඔහු සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලං උනා.


එක් වැසි දිනයක, ඔහු රිය පදවන විට දැක්කා මහලු යුවලක් එක් කුඩයක් යටින් අමාරුවන් ගමන් කරනවා. කුඩයක් තිබුනත් මේ දෙදෙනා හොඳටම තෙතබරිත වෙලා හිටියේ. මේ ඔහුගේ පරණ පෙම්වතියගේ දෙමව්පියන් බව හඳුනා ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගත උනේ නෑ. ආයෙත් ඔවුන්ට තමා සිහිගන්වනු වස් ඔහු තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය ඔවුන්ට පෙනෙන පරිදි සෙමෙන් ඔවුන් අසලින් ගෙන ගියා. තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය, ආයතනය හා උසස් සමාජ තත්ත්වය මේ මහලු දෙපළට පෙන්වීම තමයි ඔහුගේ අරමුණ උනේ. කිසිවක් සිතාගැනීමට පෙර මේ දෙපළ කනත්ත දෙසට හැරුණා.


කුතුහලය රැදි ඔහු තෙමෙමින්ම ඔවුන් පසුපස ගියා. ඔහු යලිත් ඇයව දැක්කා. ඒ කිසිදින අමතක නොවන ඇගේ සිනගව රැගත් ඡායාරූපයකින්. එය තිබුනේ සොහොන් කොතක. ඒ සමගම ඔහු ඇයට දුන් කඩදාසි කොල වලින් හදපු කොක්කු ටිකත් ඒ අසලම තබා තිබුණා. ඔහු කදුළු රැදි දෙනෙතින් ඇයට උනු විපත ගැන ඔවුන්ගෙන් අසා සිටියා. ඇය විදේශ ගත නොවුන බවත් ඇයට පිළිකාවක් වැළදී තිබුණු බවත් මහලු දෙපළ ඔහුට කීවා.


මේ පෙම්වතිය විශ්වාස කළා ඔහු කවදා හෝ හොඳ තැනකට එන බව. එයට බාධාවක් වෙන්න ඇයට ඕන උනේ නෑ. ඒ නිසා ඇයට කළ හැකි එකම විකල්පය උනේ ඔහුව හැර යාමයි. ඇය ඇගේ සොහොන වටා කඩදාසි කොල වලින් හදපු කොක්කු තියන්න කීවේ ඉරණම විසින් ඔහුව ඈ වෙත ගෙන ආවොත් ඔහුට ඒවායින් කීපයක් ඔහු සතුව තියා ගන්න පුලුවන් බව ඇයට හැඟුන නිසා.

මේ කතාවෙන් කියවෙන යථාර්ථය තමයි වෙනත් කෙනෙක් තමන් කැමති විදිහටම ආදරය නොකලට, ඒක ආදරය නෙවෙයි කියලා තේරුම් ගැනීම වරදක් බව. අපිත් ගොඩක් වෙලාවට ආදරයේදී ආත්මාර්ථකාමීයි. ප්‍රථම ප්‍රේමයෙන් පැරදුනු ගොඩක් දෙනා මල් දෙවැටත් එක්ක එකතු වෙනවා ඇති. ඔහු හෝ ඇය තමන්ව දාලා යාමට හේතුව සමහර විට මේ වගේම දෙයක් වෙන්නත් පුලුවන් නේද? ඒ නිසා ආදරය කරපු සිතකට කිසිම දිනක ක්‍රෝධ කරන්න එපා.


"ඇස ගැටෙනා නෙතු දසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්"


තවමත් ආදරය විඳපු නැති යාලුවන්ට මේක තේරෙයි කවදාහරි ආදරය කරන්න පටන් ගත්තාම. කෙනෙකු තමන්ගෙන් වෙන්වෙන්න පුලුවන් නරකම විදිහ තමයි කිසිදා නොලැබෙන බව දැන දැනත් ඔහු හෝ ඇය ළඟින්ම සිටීම.

ඔන්න මල් දෙවැටෙන් අද කියලා දෙන්න යන්නේ උපදේශාත්මක කතාවක්. මේක ටිකක් විතර අමුතු කතාවක්. ඒත් කියවලාම බලන්නකෝ. සමහරු නම් මේ කතාව අහලත් ඇති.


ඔන්න එක පොඩි ළමයෙක් හිටියලු ගොඩක් කේන්ති යන. මේ ළමයාට කොච්චර අවවාද කළත් එයා ඒ කේන්තිය නැති කරගන්න උත්සහා කළේ නෑ. ඔන්න මේ ගැන කල්පනා කරපු ඒ ළමයාගේ තාත්තා මෙහෙම දෙයක් කළා.


මේ පියා ඒ ළමයාට ඇණ බාල්දියක් දීලා මෙහෙම අවවාදයක් දුන්නා. "ඔයාට කේන්ති යන හැම අවස්ථාවකම මිටියක් අරන් මේ වැටට ඇණයක් ගහන්න." ඔන්න ඕක තමයි අවවාදය.

ඔන්න මුල්ම දවසේ මේ ළමයා වැටට ඇණ 37 ක් ගහලා තිබුණා. ඔහොම යනකොට ඊළඟ සති දෙකේ ඔහු කේන්තිය ටිකක් පාලනය කරගෙන තිබූණා. ඔහොම් ටිකෙන් ටික ඔහු තමන්ගේ කේන්තිය පාලනය කරගත්තා. මෙහෙම කරනකොට ඔහුට තේරුණා වැටට ඇණ ගහනවට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක ලේසියි කියලා



ඔහොම කාලය ගත වෙනකොට ඔහුට තේරුණා ඔහුට තවදුරටත් ඉක්මනින් කේන්ති නොයන බව. මේ බව ඔහු තම පියාට සතුටින් කිව්වා. ඉතින් මේ තාත්තා ඔහුට තවත් අවවාදයක් දුන්නා. ඒ තමයි මේ ළමයා කේන්තිය පාලනය කරගන්න හැම දවසකටම එක ඇණය බැගින් ගලවන්න කියන එක.


ඔහොම ටික දවසක් යන්කොට ඔහුට පුලුවන් උනා මේ වැටේ ඔහු කේන්තියෙන් ගහපු හැම ඇණයක්ම ගලවලා දාන්න. මේ බව ඔහු තම පියාට සැල කළා. පියා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ සමගම මෙහෙම දයක් කිව්වා.


"පුතා මට ඔයා ගැන ආඩම්බරයි. ඒත් පුතා වැටේ තියෙන සිදුරු ටික බලන්න. මේ වැට කවදාවත් ආයෙත් තිබුණ තත්වෙට එන්නෙ නෑ. ඒ වගේ තමයි ඔයා කේන්තියෙන් මොකක් හරි දෙයක් කිව්වම අනිත් අයගේ හිත් වලත් මේ වගේ සිදුරු ඇති වෙනවා. ඔයාට පුලුවන් කාට හරි පිහියෙන් ඇණලා සමාව ඉල්ලන්න. ඒත් ඒ තුවාලේ පැල්ලම ජීවිත කාලෙටම තියෙනවා."


මෙන්න මේ වගේ අපි වචනෙන් කරන තුවාලයක් සමහර විට ශාරීරික තුවාලයකට වඩා වේදනා දෙන්න පුලුවන්. ඒ නිසා අපේ මල් දෙවැටේ යාලුවෝ හිතට ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ වචන භාවිතයේදී අන් අයගේ හිත නොරිදන් විදිහට වචන පාවිච්චි කළ යුතු බව.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters
There was an error in this gadget

මල් දෙවැට

මල් දෙවැට