ඔන්න අදත් මල් දෙවැට එක්ක එකතු වෙන අපේ යාලුවොන්ට කියන්න යන්නේ කතාවක්. අපේ ගොඩක් යාලුවෙන්ට මල් දෙවැටේ ප්‍රතිචාර දක්වන්න කරදරයක් වෙලා තිබුණ Word Verification එකත් ඉවත් කළා. මේ කතාව නම් මම ලියපු එකක් නෙවෙයි. මේ මට ලැබුණ පත්‍රිකාවක තිබුණ කතාවක්. ඒකෙ තියෙන සංවේදීත්වය නිසාම අපේ මල් දෙවැටේ යාලුවෝ එක්ක බෙදා ගන්න එක හොඳයි කියලා හිතුණා. බලන්නකෝ.


ඔන්න එක තාත්තෙකුයි පුතෙකුයි ඉරගල වැටෙන වෙලාවේ, පුංචි දිය පාරක් ළඟ, පුංචි බංකුවක වාඩිවෙලා හිටියා. තාත්තා නම් ටිකක් වයසක කෙනෙක්ලු. පුතා නම් කර උස් වෙච්ච ඉලන්දාරියෙක්ලු. මේ බංකුවේ එහා කොනේ පුතා වාඩිවෙලා හිටියලු. තාත්තාගේ එහා පැත්තේ පොත් ගොඩක් තිබුණලු. පුතා එයාගේ අතේ පොතක් තියාගෙන කියවනවලු. තාත්තා සැරයටියකුත් තියාගෙන ගොම්මන් වෙලාවේ ඉර අවරට යන හැටි බලාගෙන හිටියලු.


ඔහොම බලාගෙන ඉන්නකොට ඔය තාත්තයි පුතයි වාඩිවෙලා ඉන්න බංකුව ගාවට කුරුල්ලෙක් ආවලු. තාත්තා ඒ කුරුල්ලා දිහා ගොඩක් වෙලා බලා ඉඳලා, පුතාගේ පැත්තට හැරිලා පුතාගෙන් මෙහෙම ඇහුවලු.


"පුතේ අර බලන්න අර... ලස්සන කුරුල්ලෙක්. අනේ පුතේ කවුද ඒ කුරුල්ලා. මට පේන්නේ නැහැනේ.."


පුතා බලාගෙන හිටපු පොත පොඩ්ඩක් මෙහෙට කරලා, ආපු කුරුල්ලා දිහා හිමින් සැරේ බැලුවලු. බලලා මෙහෙම කිව්වලු. " තාත්තේ ඒ වැහිළිහිණියෙක්."


එහෙම කියපු පුතා ආයෙමත් පොත කියවන්න පටන් ගත්තලු. තාත්තා ඒ ආපු කුරුල්ලා දිහා හොඳට බලාගෙන හිටියලු. ඒ කුරුල්ලා එහාට යනවලු මෙහාට යනවලු. උගේ චූටි හොටෙන් හිමීට "කිචි බිචි" ගාන්න පටන් ගත්තලු. ඒ එක්කම ආයෙමත් හැරිලා මෙන්න මෙහෙම ඇහුවලු.


"අනේ පුතේ, අර ඉන්න කුරුල්ලගේ නම මොකක්ද?"


"තාත්තේ ඔය වැහිළිහිණියෙක්."


තාත්තා ආයෙමත් පොතට උඩින් ඒ කුරුල්ලා දිහා බලාගෙන හිටියලු. කුරුල්ලා උගේ පුංචි හොටෙන් පොළොව හාරන්න පටන් ගත්තලු. තාත්තා ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා පුතාගෙන් ආයෙමත් මෙහෙම ඇහුවලු. "පුතේ අර කුරුල්ලාගේ නම මොකක්ද.....?"


පුතා තමන් බල බල හිටපු පොත වේගයෙන් වැහුවලු. ගොඩක් තරහා ගිහිල්ලා, වාඩිවෙලා හිටපු බංකුවෙන්  වේගයෙන් නැගිටලා, තාත්තට මෙහෙම කිව්වලු.


"මොන කරදරයක්ද මේක. දැන් මම කී සැරයක් කිව්වද? ඌ වැහිළිහිණියෙක්, වැහිළිහිණියෙක්..... චිඃ...."


කුරුල්ලා ඒ සද්දෙත් එක්ක වේගයෙන් පියාඹලා ගියාලු. තාත්තා පුතා දිහා ගොඩක් වෙලා බලන් ඉඳලා, පුතාට මෙහෙම කිව්වලු.


"පුතේ මං ළඟ තියෙන මේ පොත් ගොඩෙන් අනේ මට අර... නිල් පාට පොත අරන් දෙන්න." කියලා. පුතා උපන් කේන්තියෙන්ම තාත්තා ළඟ තිබුණ පොත් ගොඩ අවුස්සලා, එතන තිබුණ නිල් පාට පොත තෝරලා ගත්තලු. ඒක වෙන පොතක් නෙවෙයි දින පොතක්. තාත්තා පුතාට මෙහෙම කියන්න පටන් ගත්තලු..


"පුතේ ඔය පොතේ මෙන්න මේ පිටුව පෙරළන්න."

පුතා හරිම කේන්තියෙන් ඒ පිටුව පෙරලුවාලු. පුතා  ඒ පිටටුව පෙරලුවාම ඒකේ තිබුණෙ මෙහෙම දෙයක්ලු..


"1988 දෙසැම්බර් 31 (ප.ව. 6.00 ට)
මමයි මගේ පුංචි පුතයි අපේ ගේ ළඟ තිබුණ ගඟ ගාවට ආවා. එතකොට එතනට ආවා වැහිලිහිණියෙක්. අනේ මගේ පුංචි පුතා ඒ වැහිලිහිණියට අත දික් කරලා මගෙන් ඇහුවා ඒ කුරුල්ලා කවුද කියලා. මම පුතාට ආදරෙන් කියලා දුන්නා ඒ වැහිළිහිණියා කියලා. දෙපාරක් නෙවෙයි 27 වතාවක්ම ඇඟිල්ල දික් කරලා ඇහුවා ඒ කුරුල්ලා කවුද කියලා. මම මගේ රත්තරං පුතාට ඒ 27 පාරම ආදරෙන් කියලා දුන්නා ඒ ඉන්නේ වැහිළිහිණියෙක් කියලා."


ඔන්න ඕක තමයි අද කතාව. අපිත් නොදැනුවත්කමින් අපේදෙමව්පියන්ට කොයි තරම් හිත රිදෙන දේ කියලා ඇතිද? මොනවා උනත් මල් දෙවැටෙන් මේ ආදර්ශය අරන් අපේ යාලුවොන්ගෙන් එක්කෙනෙක් හරි හරි මාර්ගයට එනවා නම් ඒකත් මල් දෙවැට ලබපු ලොකු ජයග්‍රහණයක් වේවි.