සමහරවිට අද ඔයාලා මල් දෙවැට එක්ක එකතු වෙන්න ඇත්තේ වෙනදා වගේ කතාවක් අහන්න වෙන්න ඇති. ඒත් අද මම මල් දෙවැට මගින් මගේ ආදරය ගැන පොඩි සැමරුමක් කරන්න යන්නේ. ඒක නිසා මුලින්ම අපේ මල් දෙවැටේ යාලුවෝ ඒ ගැන මට සමා වෙන්න ඕනේ.

මේ වෙනකන් ඔයාලත් එක්ක හිටපු මට මේ වියුණුව කරගෙන යන්න ගොඩක්ම දිරිමත් කලේ මගේ පුංචි පෙම්වතියයි. අද අපේ ආදරයට අවුරුදු දෙකයි. මේ අවුරුදු දෙක පුරාවටම ඇයත් එක්ක ගෙවුණු කාලය බොහොම සුන්දරයි. ඒ කාලය ඇතුළත පොඩි පොඩි ප්‍රශ්න ඇති නොවුනාම නොවෙයි. ඒත් ඒ හැම ප්‍රශ්නයක්ම කතා කරලා හිත් රිදවීම් ඇති නොවෙන විදිහට විසඳා ගන්න අපි දෙන්නම උනන්දු උනා.

දහසක් ළඳුන් දුටුවත් පවතින තුරු දිවිය...
නුඹයි එකම ළඳ මගෙ සිත ඇදී ගිය...
නොදනිමි කිමද නූඹ හට සිත ඇලී ගිය...
තවමත් සොයමි කිමද නුඹටම සිත බැඳී ගිය...


ඇගේ අත ගෙන අපේ ආදරය තවත් අවුරුදු කිහිපයක් ඇතුළත විවාහයෙන් සමරන එක තමයි අපි දෙන්නගේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ නිසා අද මල් දෙවැටෙන් මේ ලිපිය මගේ ආදරණීය සුදු නංගියා වෙනුවෙන් ම හද පිරි සෙනෙහසින් පළ කරනවා.

සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අද පාඩමත් ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. මේකත් ආදර්ශමත් කෙටි කතාවක්. අපේ මල් දෙවැටේ සමහර යාලුවෝ මේක අහලත් ඇති.

ඔන්න එක කාන්තාවක් තමන්ට නියමිත ගුවන් යානය එනකන් ගුවන් තොටුපලේ විවේකාගාරයට වී ඉන්නවා. ඒත් ඇයගේ ගුවන් යානය එන්න තව බොහෝ වේලා ඇති නිසා ඈට සිතෙනවා ඒ වෙනකන් පොතක් අරගෙන කියවන්න. ඉතින් මේ කාන්තාව පොතක් මිලදී ගන්නවා. ඒත් එක්කම බිස්කට් පැකට් එකකුත් මිලදී ගන්නවා.

ඇය විවේකාගාරයට ගිහින් හාන්සි පුටුවක වාඩිවෙලා පොත කියවන්න ගන්නවා. ඇයට එහා පැත්තෙන් තවත් අයෙක් හාන්සි වෙලා සඟරාවක් කියවනවා. මේ දෙන්නා අතර ඉඩෙහි පොඩි මේසයක් තියෙනවා. ඒකෙ තමයි බිස්කට් පැකට් එක තිබුනේ.

පොත කියවන අතරේ ඈ බිස්කට් පැකට් එකෙන් බිස්කට් එකක් ගත්තා. ඒත් එක්කම අනෙක් පස හිටපු මිනිසාත් එයින් බිස්කට් එකක් ගත්තා. ඇයට තරහක් ආවත් මුකුත් කිව්වේ නෑ. “මට තරහා ගිහින් තිබුන වෙලාවක නම් මම දෙනවා මේ මිනිහට හොඳවයින් පාරක්” ඈ තනිවම සිතුවා.

ඇය ගත්ත සෑම බිස්කට් එකකටම ඔහුත් එක බැගින් ගත්තා. මේ හැසිරීම ඇයව කෝප කළත් ගුවන් යානය එන නිසා ගැටුමක් ඇති කර ගැනීමට ඇයට ඕන උනේ නෑ.

ඔහොම යනකොට එක බිස්කට් එකක් පමණක් ඉතුරු උනා. “දැන් බලමුකෝ මෙයා මොකද කරන්නේ කියලා” ඇය තනිවම සිතුවා. ඈ දෙස බැලූ මිනිසා ඒ බිස්කට් එක අරන් දෙකට කඩලා ඇයට භාගයක් දුන්නා.

“මෙයා නම් ඕනවට වැඩියි.” ඇයට සිතුනා. තරහා ගිය පාර පොතත් දමලා ගහලා ඈ වෙනත් තැනකට ගියා.

ගුවන් යානය ආවම ඈ ගිහින් වාඩි උනා. ඇගේ අව් කණ්නාඩි යුගලය ගන්න අත් ඇගේ බෑගය ඇරියා. පුදුමයකට මෙන් කඩපු නැති බිස්කට් පැකට් එකක් ඒකෙ තිබුනා. ඇයට තදබල ලැජ්ජාවක් දැනුනා. ඇයට තේරුම් ගියා ඈ වැරදි බව. ඇයට අමතක වී තිබුනා ඈ බිස්කට් පැකට් එක ඇගේ බෑගයේ දමාගත් බව. ඒ මිනිසා කිසිම තරහක් නැතිව ඔහුගේ අවසන් බිස්කට් එකත් ඈ සමග බෙදාගෙන තිබුණා.

ඈට තරහා ගිහින් තිබුන වෙලාවේ ඈ සිතුවේ ඇගේ අවසන් බිස්කට් එක ගැනයි. ඒත් දැන් සමාව ගන්නවත් තේරුම් කර දෙන්නවත් ඇයට අවස්ථාවක් නැති බව වැටහුණා. අපේ ජීවිතයට ආපසු නොලැබෙන දේවල් 4 ක් තියෙනවා. ඒ තමයි

  1. විසිකළ පසු ගලක් 
  2. පැවසූ පසු වචනයක්  
  3. නැතිවුනු පසු අවස්ථාවක් 
  4. ගතවුණු පසු තත්පරයක්

ඒක නිසා හැම පුංචි සිදුවීමකටම පෙර දෙවරක් සිතන්න. ඔන්න මේ කතාවෙන් අපේ මල් දෙවැටේ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි සමහර දේවල් ආයෙත් නිවැරදි කරන්න බැරි බව.


මල් දෙවැට එක්ක එකතු උන අපේ යාලුවන්ට අද කියවන්න ලැබෙන්නේ ආදර කතාවක්. අපේ තරුණ යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි. කියවලාම බලන්නකෝ.
ඔන්න එක තරුණ පෙම්වතුන් යුවලක් හිටියා. මුල ඉඳලම මේ දෙන්නාගේ සම්බන්ධයට ගැහැණු ළමයාගේ ගෙදරින් විරුද්ධ උනා. ඒකට හේතුව උනේ පිරිමි ළමයාගේ පවුල් පසුබිමයි. මේ දෙන්නා විවාහ උනොත් තමන්ගේ දුවට මුලු ජීවිතේම දුක් විඳින්න වෙයි කියලයි මේ දෙමව්පියන් හිතුවේ.
දෙමව්පියන්ගෙන් එල්ල උන පීඩනය නිසාම මේ  දෙන්නා අතර නිතරම රණ්ඩු ඇති උනා. මේ හැම වෙලාවකදිම මේ ගැහණු ළමයා අහන එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි, “ඔයා මට කොච්චර ආදරේද?” කියන එක.
මේ පෙම්වතා කතාවේ එතරම් දක්ෂයකු නොවන නිසා මේක හරියට තේරුම් කරන්න බැරි උනා. මේ ගැන මේ ගැහැණු ළමයා කණස්සල්ලෙන් පසු වුනේ. පවුලේ පීඩනයත් එක්ක හැම වෙලාවෙම ඈ තරහා පිටකලේ පිරිමි ළමයාගේ පිටින්. ඒත් ඔහු නිහඬවම මේ තරහාවන් ඉවසා දරා ගත්තා.
අවුරුදු කීපයකට පස්සේ මේ පෙම්වතාට උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න  සිදුවුනා. ඒ යන්න කළින් ඔහු තම පෙම්වතියට මෙහෙම කිව්වා. “මං කතා කරන්න ඒ තරම් දක්ෂයෙක් නෙවෙයි. ඒත් මම එක දෙයක් දන්නවා. ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඔයා අවසර දෙනවා නම් මං ඔයාව මගේ ජීවිත කාලය පුරාවටම බලා ගන්නම්. ඔයාගේ දෙමව්පියන්ට මං මට පුලුවන් විදිහට කතා කරන්නම්. ඔයා මාව බඳිනවද?”
මේ පෙම්වතිය කැමති උනා. කොහොමහරි අවසානයේදී මේ  ගැහැණු ළමයාගේ ගෙදරින් කැමැත්තත් ලැබුණා. රට යන්න කලින් මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා.
මෙහෙම කාලය ගත උනා. අමාරුවෙන් උනත් මේ දෙන්නා Email හා දුරකතන ඇමතුම් මගින් මේ දෙන්නාගේ සම්බන්ධය ගෙන ගියා.
එක් දවසක් මේ ගැහැණු ළමයා වැඩට යනකොට ඇයව පාරේ යන වාහනයක් හප්පගෙන ගියා. සිහිය එන්කොට හිටියේ රෝහලේ ඇඳක් උඩ. දෙමව්පියන් ඇගේ දෙපසින් සිටියා. තේරුම්ගත්තා ඇයට හුඟක් තුවාල වෙලා කියලා. ඇගේ මව අඬනකොට ඇයව සනසන්න මේ ගැහැණු ළමයාට සිතුනා. කතා කරන්න උත්සහ කළත් ඇයගේ හඬ ගොලු වෙලා.
දොස්තරවරු කිව්වේ මොළයට සිදුවුනු කම්පනය නිසා ඇගේ හඬ අහිමිව ඇති බවයි. රෝහලේ හිටපු විදිහටම ගෙදරදිත් නිහඬවම හැඬුවා. දුරකතනය නිතරම නාද උනා. හැම විටම ඈට දැනුනේ හදවතට කටුවකින් අනින තරම් වේදනාවක්. ඇය නිසා ඔහුගේ ජීවිතයත් විනාශ නොකිරීමට ඉටා ගත්තා. අවසානයේ ඔහුට මෙසේ ලියුමක් ලිව්වා.
මට තවත් බලන් ඉන්න බෑ. මං ගැන තවදුරටත් බලාපොරොත්තු තියන් ඉන්න එපා.”
මේ ලිපියත් එක්ක විවාහ ගිවිස ගත් මුද්දත් යැව්වා. ඔහුගෙන් දහස් ගනන් පිළිතුරු ලිපි, දුරකතන ඇමතුම් ආවත් ඇයට කළ හැකි එකම දේ උනේ නිහඬව හැඬීම පමණයි.
මේ හැම දෙයක් ගැනම අමතක වෙන්න කියා සිතූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ පදිංචියත් වෙනස් කලා.
අලුත් පරිසරයට මේ ගැහැණු ළමයා හැඩ ගැහුණා. ගොලු භාෂාවත් ඉගෙන ගත්තා. ටිකෙන් ටික ඔහුගේ මතකයන් අමතක කරන්න උත්සහ කළා. එක් දිනක් ඇගේ යාලුවෙක් ඇයට ආරංචියක් ගෙනාවා. ඇගේ පෙම්වතා ආයෙත් තම රටට ඇවිත් කියන ආරංචිය. ඇය යාලුවාට කිව්වා ඈට සිදු වුන කිසිවක් ඔහුට දැනගන්න තියන්න එපා කියලා. කල් යනවිට ඔහු ගැන කිසිම ආරංචියක් නැති උනා.
අවුරුද්දකට  පසු ඇගේ යාලුවා ලියුමක් රැගෙන ආවා. ඒකේ තිබුනෙ ඔහුගේ විවාහයට ආරාධනා පතක්. ගල් ගැහුණා. සැලෙන හදින් ආරාධනා පත විවෘත කළා. ඒත් පුදුමයකට වගේ ඒකේ තිබුනේ ඇගේ නම.
මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියා අහන්න ඇගේ යාලුවා දිහා බලනකොට ඇගේ පෙම්වතා ඉදිරියෙන් සිටගෙන් හිටියා. ඔහු සංඥා භාෂාව යොදාගෙන මෙසේ කීවා. “මං මේ අවුරුද්දම ගෙව්වේ ගොලු භාෂාව ඉගෙන ගන්න. මං ඔයාට මතක් කරන්න කැමතියි මං මගේ පොරොන්දුව අමතක කලේ නැති බව. මට ඔයාගේ කටහඬ වෙන්න තව එක අවස්ථාවක් දෙන්න. මං ඔයාට ආදරෙයි.”
ඒත් එක්කම ඔහු ඇඟේ වෙදැඟිල්ලට මුදුව දැම්මා. අවසානයේ සිනාසුනා.
ඔන්න ඕක තමයි අද දවසේ මල් දෙවැටේ ආදර කතාව. ඔයාලගේ අදහස් මේ මල් දෙවැට Blog අඩවියට ගොඩක් වටිනවා. ආයෙත් හමුවෙන තෙක් මල් දෙවැටෙන් සමුගන්නම්.

ඔන්න අද මම මල් දෙවැටෙන් ඔයාලව වෙනම මාවතකට ගෙන යනවා. මේක අපි කතා කරපු මාතෘකා වලින් ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. මේකෙන් කියවෙන්නේ තරුණ පෙම්වතුන්ගේ අසහනය ගැන.

හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක මං ලියපු කවි පෙළක් නෙවෙයි. මට මේක ලැබුනේ යාලුවෙක් එවපු Email එකක් මාර්ගයෙන්. මේ කවි පෙළ පළ කරපු මුල් කතෘ ගැන දන්නේ නැතත් ඔහුට මල් දෙවැටෙන් අපේ ගෞරවය පුද කරනවා. ඔයාලත් මේක කියවලම බලන්නකෝ.

මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!


"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"


සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී


ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ


නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

කොහොමද කවිය? එක අතකට මේ කවියෙත් ඇත්තක් තියෙනවා නේද? මේ ගැන අදහස් දැක්වීම අපේ තරුණ පෙම්වතුන්ට භාරයි.

ඔන්න එක පෙම්වතුන් දෙපලක් කතාකරගත්ත විදිහට හමුවුණා. මේ දෙන්නා ඔන්න යතුරු පැදියකින් ගමන් කරනවා. ඒත් හෙල්මටයක් පැළඳ සිටින්නේ නම් මේ පෙම්වතා විතරයි. මොකද මේ ගමන හදිසියේ යොදා ගත් ගමනක් නිසා එක හෙල්මටයක් විතරයි ගෙනත් තියෙන්නේ.


මේ පෙම්වතා එක්වරම යතුරු පැදියෙ වේගය වැඩිකරනවා. මේ වෙනකොට යතුරුපැදියෙ වේගය පැයට කිලෝමීටර 100 ක් විතර. එතකොට බයවෙච්ච මේ පෙම්වතිය මෙහෙම කියනවා.

පෙම්වතිය : අනේ හෙමින් යන්නකෝ. මට බයයි.
පෙම්වතා : නෑ මෙහෙම ගියාම හුඟක් විනෝදයි.
පෙම්වතිය : නෑ නෑ. මේක භයානකයි.
පෙම්වතා : හරි. එහෙනම් මට ආදරෙයි කියන්න. එතකොට හිමින් යන්නම්.
පෙම්වතිය : හා. ඔන්න මම ඔයාට ගොඩක් ආදරෙයි. දැන්වත් හිමින් යන්නකෝ.
පෙම්වතා : ඒ විතරක් මදි. මාව හයියෙන් බදාගන්න.
(පෙම්වතිය පෙම්වතාව වැළඳ ගනී.)
පෙම්වතා : හා දැන් මේ හෙල්මට් එක මගේ ඔලුවෙන් ගලවලා ඔයා දාගන්න. මේක මං දාගෙන ඉන්නකොට අපහසුයි. මේක ඔයා දාගත්තම මං හිමින් යන්නම්.

ඔන්න ඊළඟ දවසේ පත්තරේ මෙහෙම ශිර්ෂ පාඨයක් තියෙනවා.

“වේගයෙන් ධාවනය කළ යතුරු පැදියක් අසල වූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අයෙක් මරුට. අනතුරට හේතුව තිරිංග නොමැති වීම බව සොයාගැනේ.”

මේ සිදුවීමේ සත්‍ය කතාව තමයි ටික දුරක් ගමන් කරනකොට මේ පෙම්වතාට තේරුනා යතුරු පැදියේ තිරිංග (බ්‍රේක්) නොමැති බව. ඒත් ඔහු මේ බව තමන්ගේ පෙම්වතියට දැනගන්න ඉඩ හැරියේ නෑ. ඒ වෙනුවට අවසන් වතාවට ඔහු තම පෙම්වතිය ලවා තමන්ට ආදරෙයි කියවා ගත්තා. අවසන් වරට තම පෙම්වතියගේ තුරුලේ උණුසුම වින්දා. තමන් මැරුනත් තමන්ගේ ආදරය ජීවත් වෙයි කියලා හිතලා ඔහුගේ හෙල්මටය අවසානයේදී තමන්ගේ පෙම්වතියට දුන්නා. මේකට නේද සත්‍ය ආදරය කියන්නේ?

මේ කතාවෙන් අපේ යාලුවො ගන්න ඕන එක ආදර්ශයක් තමයි යතුරු පැදියකින් ගමන් කරනකොට අපි හෙල්මට් පැළඳිය යුත්තේ පොලීසියෙන් බේරීමට නොව තමන්ගෙම ආරක්ෂාවට කියන එක.


ඔන්න කාලෙකට පස්සේ තමයි අද මල් දෙවැටෙන් ඔයාලව හමුවන්නේ. අද මට හිතුනා මල් දෙවැටෙන් හාස්‍ය රැඳි යමක් ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. ඔයාලා ආදර ලිපි ලියලා ඇතිනේ. ඒත් මේක ෛවර ලිපියක්
ඔන්න එක ආදරවන්තයෙක් තමන්ගේ පෙම්වතීට ආදර ලිපියක් ලිව්වා. ඒත් ඒක පෙම්වතියගෙ තාත්තාට අහු උනා. තාත්තා මේ සම්බන්ධයට විරුද්ධ උනා. මේ සම්බන්ධය නවතා දමන ලෙස ඇයට තර්ජනය කළා. මේක දැනගත්තු මේ ආදරවන්තයා ඇයට තවත් ලියුමක් ලීවා. මේ ලියුමත් ඇයගේ තාත්තාට හසු උනා.
මෙන්න මේකයි ඔහු ලියපු ලියුම.
ඔයා වෙනුවෙන් මගේ හිතේ තිබුණු ඒ අමිල ආදරය
තව දුරටත් නැහැ. දැන් මගේ හිතේ ඔයාට තියෙන අකැමත්ත
හැමදාකම තව තවත් වැඩෙනවා. මම ඔයාව දකිනකොට
මොනතරම් කැත මූණක්ද කියලා හිතෙනවා. ඒක නිසා
මට කරන්න හිතුන තවත් දෙයක් තමයි
අනිත් ලස්සන කෙල්ලො දිහා බලන එක. මට කවදාවත් හිතුනෙ නෑ
ඔයාව ඉක්මනට බඳින්න ඕනෙ කියලා. අපේ අන්තිමට කතාකරපු ඒවා
මොන තරම් කම්මැලිද. වගේම මට කවදාවත්ම ඕනෙ වෙන්නෙ නෑ
ආයෙත් ඔයාව දකින්න හේතුවක්.
ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි.
අපි බැන්ඳොත් මම දන්නවා මට ලැබෙයි
නරකාදියක්. මට ලැබෙන්නේ නෑ කිසිම
ලොකු සතුටක් ඔයත් එක්ක ඉඳලා. මට තියෙනවා හදවතක්
කාටහරි දෙන්න. ඒත් මගේ කිසිම සූදානමක් නෑ ඒක
ඔයාටම දෙන්න. ඔයා හැරෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ
ඔයා තරම් ආත්මාර්ථකාමී වගේම මෝඩ. ඔයාට කවදාවත් බෑ
මට උදව් කරන්නවත් මාව බලාගන්නවත්.
ඔයා අවංකවම තේරුම් ගන්නවනම් හොඳයි මේ දේ.
මම කියන්නේ ඇත්ත. ලොකු උදව්වක් ඔයාට පුලුවන්නම්
මේක ඉවරයි කියලා හිතාගන්න. ඔයා උත්සහ කරන්න එපා
මේකට පිලිතුරු ලිපියක් ලියන්න. ඔයාගේ ලියුම්වල පිරිලා තියෙන්නේ
කිසිම වැඩකට නැති පල් හෑලි. ඔයාට පොඩ්ඩක්වත් නෑ
මං වෙනුවෙන්ම සත්‍ය ආදරයක්. සමුගන්නම්... ! විශ්වාස කරන්න
මට තවත් ඔයාව ඕනේ නෑ. කරුණාකරලා හිතන්න එපා
මම තවමත් ඔයාගෙම ආදරවන්තයා කියලා.”

මොකද ඔයාලා හිතන්නේ. මේ පෙම්වතා මේ ලියුම තමන්ගේ පෙම්වතියට ලැබෙන්කොට කියලා තිබුනා මෙහෙම දෙයක්. ඒක තමයි ලියුම කියවනකොට පේලියක් ඇර පේලියක් කියවන්න කියලා. කියන්නේ 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21, 23, 25 කියන පේලි කියවන්න කියලා.

ඔයාලා මේක ආයේ කියවලා බලන්නකෝ මේකෙ අදහස. අපේ මල් දෙවැටෙ යාලුවෝ මොකද හිතන්නේ මේ තාත්තයි, දුවයි දෙන්නා මේ ලියුමෙන් තේරුම් ගත්ත දේවල් ගැන

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට