මල් දෙවැට එක්ක එකතු උන අපේ යාලුවන්ට අද කියවන්න ලැබෙන්නේ ආදර කතාවක්. අපේ තරුණ යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි. කියවලාම බලන්නකෝ.
ඔන්න එක තරුණ පෙම්වතුන් යුවලක් හිටියා. මුල ඉඳලම මේ දෙන්නාගේ සම්බන්ධයට ගැහැණු ළමයාගේ ගෙදරින් විරුද්ධ උනා. ඒකට හේතුව උනේ පිරිමි ළමයාගේ පවුල් පසුබිමයි. මේ දෙන්නා විවාහ උනොත් තමන්ගේ දුවට මුලු ජීවිතේම දුක් විඳින්න වෙයි කියලයි මේ දෙමව්පියන් හිතුවේ.
දෙමව්පියන්ගෙන් එල්ල උන පීඩනය නිසාම මේ  දෙන්නා අතර නිතරම රණ්ඩු ඇති උනා. මේ හැම වෙලාවකදිම මේ ගැහණු ළමයා අහන එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි, “ඔයා මට කොච්චර ආදරේද?” කියන එක.
මේ පෙම්වතා කතාවේ එතරම් දක්ෂයකු නොවන නිසා මේක හරියට තේරුම් කරන්න බැරි උනා. මේ ගැන මේ ගැහැණු ළමයා කණස්සල්ලෙන් පසු වුනේ. පවුලේ පීඩනයත් එක්ක හැම වෙලාවෙම ඈ තරහා පිටකලේ පිරිමි ළමයාගේ පිටින්. ඒත් ඔහු නිහඬවම මේ තරහාවන් ඉවසා දරා ගත්තා.
අවුරුදු කීපයකට පස්සේ මේ පෙම්වතාට උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න  සිදුවුනා. ඒ යන්න කළින් ඔහු තම පෙම්වතියට මෙහෙම කිව්වා. “මං කතා කරන්න ඒ තරම් දක්ෂයෙක් නෙවෙයි. ඒත් මම එක දෙයක් දන්නවා. ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඔයා අවසර දෙනවා නම් මං ඔයාව මගේ ජීවිත කාලය පුරාවටම බලා ගන්නම්. ඔයාගේ දෙමව්පියන්ට මං මට පුලුවන් විදිහට කතා කරන්නම්. ඔයා මාව බඳිනවද?”
මේ පෙම්වතිය කැමති උනා. කොහොමහරි අවසානයේදී මේ  ගැහැණු ළමයාගේ ගෙදරින් කැමැත්තත් ලැබුණා. රට යන්න කලින් මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා.
මෙහෙම කාලය ගත උනා. අමාරුවෙන් උනත් මේ දෙන්නා Email හා දුරකතන ඇමතුම් මගින් මේ දෙන්නාගේ සම්බන්ධය ගෙන ගියා.
එක් දවසක් මේ ගැහැණු ළමයා වැඩට යනකොට ඇයව පාරේ යන වාහනයක් හප්පගෙන ගියා. සිහිය එන්කොට හිටියේ රෝහලේ ඇඳක් උඩ. දෙමව්පියන් ඇගේ දෙපසින් සිටියා. තේරුම්ගත්තා ඇයට හුඟක් තුවාල වෙලා කියලා. ඇගේ මව අඬනකොට ඇයව සනසන්න මේ ගැහැණු ළමයාට සිතුනා. කතා කරන්න උත්සහ කළත් ඇයගේ හඬ ගොලු වෙලා.
දොස්තරවරු කිව්වේ මොළයට සිදුවුනු කම්පනය නිසා ඇගේ හඬ අහිමිව ඇති බවයි. රෝහලේ හිටපු විදිහටම ගෙදරදිත් නිහඬවම හැඬුවා. දුරකතනය නිතරම නාද උනා. හැම විටම ඈට දැනුනේ හදවතට කටුවකින් අනින තරම් වේදනාවක්. ඇය නිසා ඔහුගේ ජීවිතයත් විනාශ නොකිරීමට ඉටා ගත්තා. අවසානයේ ඔහුට මෙසේ ලියුමක් ලිව්වා.
මට තවත් බලන් ඉන්න බෑ. මං ගැන තවදුරටත් බලාපොරොත්තු තියන් ඉන්න එපා.”
මේ ලිපියත් එක්ක විවාහ ගිවිස ගත් මුද්දත් යැව්වා. ඔහුගෙන් දහස් ගනන් පිළිතුරු ලිපි, දුරකතන ඇමතුම් ආවත් ඇයට කළ හැකි එකම දේ උනේ නිහඬව හැඬීම පමණයි.
මේ හැම දෙයක් ගැනම අමතක වෙන්න කියා සිතූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ පදිංචියත් වෙනස් කලා.
අලුත් පරිසරයට මේ ගැහැණු ළමයා හැඩ ගැහුණා. ගොලු භාෂාවත් ඉගෙන ගත්තා. ටිකෙන් ටික ඔහුගේ මතකයන් අමතක කරන්න උත්සහ කළා. එක් දිනක් ඇගේ යාලුවෙක් ඇයට ආරංචියක් ගෙනාවා. ඇගේ පෙම්වතා ආයෙත් තම රටට ඇවිත් කියන ආරංචිය. ඇය යාලුවාට කිව්වා ඈට සිදු වුන කිසිවක් ඔහුට දැනගන්න තියන්න එපා කියලා. කල් යනවිට ඔහු ගැන කිසිම ආරංචියක් නැති උනා.
අවුරුද්දකට  පසු ඇගේ යාලුවා ලියුමක් රැගෙන ආවා. ඒකේ තිබුනෙ ඔහුගේ විවාහයට ආරාධනා පතක්. ගල් ගැහුණා. සැලෙන හදින් ආරාධනා පත විවෘත කළා. ඒත් පුදුමයකට වගේ ඒකේ තිබුනේ ඇගේ නම.
මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියා අහන්න ඇගේ යාලුවා දිහා බලනකොට ඇගේ පෙම්වතා ඉදිරියෙන් සිටගෙන් හිටියා. ඔහු සංඥා භාෂාව යොදාගෙන මෙසේ කීවා. “මං මේ අවුරුද්දම ගෙව්වේ ගොලු භාෂාව ඉගෙන ගන්න. මං ඔයාට මතක් කරන්න කැමතියි මං මගේ පොරොන්දුව අමතක කලේ නැති බව. මට ඔයාගේ කටහඬ වෙන්න තව එක අවස්ථාවක් දෙන්න. මං ඔයාට ආදරෙයි.”
ඒත් එක්කම ඔහු ඇඟේ වෙදැඟිල්ලට මුදුව දැම්මා. අවසානයේ සිනාසුනා.
ඔන්න ඕක තමයි අද දවසේ මල් දෙවැටේ ආදර කතාව. ඔයාලගේ අදහස් මේ මල් දෙවැට Blog අඩවියට ගොඩක් වටිනවා. ආයෙත් හමුවෙන තෙක් මල් දෙවැටෙන් සමුගන්නම්.