Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.


ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."


ඔන්න අදත් මල් දෙවැටෙන් මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.


සමහර විට මල් දෙවැට සමග එකතු වෙන අපේ යාලුවන්ටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒවා අපිත් සමග බෙදාගන්නවන්ම් අපි හැමෝටම ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් වේවි.

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක එකතු වෙන්නේ. මං හිතන්නේ අපේ ගොඩක් යාලුවන්ට මල් දෙවැට වියුණුව අමතක වෙලත් ඇති. ඔන්න අදත් ආදරය ගැන කතාවක් කියන්න යන්නේ. මේ මට ලැබුණ ඊමේල් එකක කතාවක්. මං ඒක පරිවර්ථනය කරලා දාන්නේ.

ඔන්න එක් කාන්තාවක් හවස වැඩ ඉවර කරලා ගෙදර ආවලු. මෙයාට ගොඩක් මහන්සියිලු. ඔන්න එක පාරම ඇයගේ අවුරුදු 5 පමණ වූ කුඩා දරුවා ඈ වෙත දිව ඇවිත් මෙහෙම අහනවලු.


දරුවා : අම්මේ මං ප්‍රශ්නයක් අහන්නද?
මව : හා කියන්න පුතේ.
දරුවා : අම්මේ අම්මට පැයකට කොච්චරක් පඩි හම්බෙනවද?
මව : ඔන්න කිව්ව ඕනෙ නැති පැහිච්චකමක්. දුවනව මගෙන් ගුටි නොකා.


මේ කාන්තාව ටිකක් තරහෙන් සැර කළා. ඊට පස්සේ ඇය මේ ළමයගෙන් මෙහෙම අහනවා.


මව : ඇයි පුතේ එහෙම ඇහුවේ?
දරුවා : අනේ කියන්නකෝ අම්මේ මට ඒක දැන ගන්න ඕන.
මව : ආ දැනගන්නම ඕනේ නම් හිතාගන්නකෝ රුපියල් 50 විතර කියලා.
දරුවා : ආ ඒකනේ.


ඔන්න එහෙම කියපු මේ ළමයා ඔලුව නවාගෙන ටිකක් කල්පනා කරනවලු. ඊට පස්සේ ආයේ මෙහෙම අහනවා. "අම්මේ මට රුපියල් 25 දෙනවද?"


ඔන්න මේ අම්මට හොඳටම කේන්ති ගියාලු. "ඒක තමයි මෙතන බොරු ප්‍රශ්න අහ අහ කැරකි කැරකි හිටියේ. මං මේ දවස තිස්සෙම මහන්සිවෙලා සල්ලි හොයනවා. තව එනවා මෙතන සල්ලි ඉල්ලන්න එක එක බොරු සෙල්ලම් බඩු ගන්න. දුවනවා කාමරේට. ගිහින් නිදාගන්නවා." මේක අහපු මේ කුඩා දරුවා හිමීට කාමරේට ගියාලු.


මේ කාන්තාව ළමය අහපු ප්‍රශ්න ගැන තරහින් හිත හිත හිටියලු. සල්ලි ඉල්ලන්න බොරු ප්‍රශ්න අහන්නත් පුරුදු වෙලා කියලා තරහින් හිටියත් ටික වෙලාවකින් මේ තරහ නිවිලා ගියාලු. ඈ දැන් මෙහෙම කල්පනා කරනවලු. මෙයා හැමදාම මෙහෙම සල්ලි ඉල්ලන්නෙත් නෑනෙ සමහරවිට පොඩි සෙල්ලම්බඩුවක් ගන්න ආසාවක් ඇති. අනික රුපියල් 25 කියන්නේ ලොකු ගානකුත් නෙවෙයි නෙ.


ඔන්න මේ අම්මා රුපියල් 25 කුත් අරන් කාමරේට ගියාලු. "පුතේ ඔයා නිදිද?" අම්මා ඇහුවලු. "නෑ අම්මේ මං නිදි නෑ." පුතා කියනවා.

මව : ඔයා ඒ වගේ ප්‍රශ්න ඇහුවම අම්මට තරහා යනවනේ පුතේ. ආ මෙන්න ඔයාට රැපියල් 25 ක්.


ඔන්න මේක ඇහුන ළමයා එකපාරම නැගිටලා හිනාවක් දැම්මලු. "ස්තුතියි අම්මේ". ඊට පස්සේ අත කොට්ටේ යටට දාලා මොනාද හොයනවලු. දැන් අම්මට පේනවලු කොට්ටේ යට කොල කෑලි, පරන බිල්, ටොෆි කොල වගේ ඒවා තියෙනවා. ඒ අතරේ ඈ දැක්කලු තව සල්ලි වගයකුත් තියෙනවා. මේ අම්මට තවත් තරහා ගියාලු. දැන් මේ ළමයා සල්ලි ගනිනවලු.


මව : ඔයා ළඟ සල්ලි තියාගෙනත් ඇයි මගෙන් තවත් සල්ලි ඉල්ලුවේ.
දරුවා : මට තව සල්ලි ටිකක් මදි වෙලා හිටියේ දැන් හරි.


"අම්මේ මෙන්න ඔයාට රුපියල් 50 ක්. ඔයාගේ කාලෙන් මට පැයක් දෙනවද? අනේ හෙට පැයක් කළින් ගෙදර එනවද? මට අම්මත් එක්ක එකට ඉදන් රෑට කන්න ආසයි." 


අම්මගේ ඇස් කඳුලින් තෙමුනලු. ඈ ඔහුව බදාගෙන සමාව ඉල්ලුවලු.


මේකෙන් අපේ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි අපේ කාලයෙන් අඩුම තරමේ පොඩි වෙලාවක්වත් අපි ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියන එක. අනෙක් අතට අපි හෙට මැරුනොත් අපි වැඩ කරන ආයතනය අපි වෙනුවට වෙන කවුරු හරි ගනීවි. ඒත් අපිට ආදරය කරන අයට ඒක කවදාවත්ම පුරවන්න බැරි හිස් තැනක් වේවි.

අද මල් දෙවැටෙ අපි කතා කරන මාතෘකාව තමයි අපි කොහොමද අපිට හරියන ගැහැණු ළමයෙක් ඒ කියන්නේ කෙල්ලෙක් හොයා ගන්නේ කියන එක. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය මගේ අදහසක් නොවන බව. මට Email එකකින් තමයි මේ ලිපිය ලැබුනේ. මේක වැදගත් කියලා හිතුන නිසා මං අපේ මල් දෙවැටෙ යාලුවොත් එක්ක මේක බෙදා ගන්නවා.


සමහරු නිවැරදි ගැහැණු ළමයෙක් හොයා ගන්න හැටි හරියට නොදැන අමාරුවේ වැටෙනවා. දුක් වෙනවා. හැබැයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. දෑනට ඔයාලා ආදරය කරන ගැහැණු ළමයෙක් ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න. මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි. සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා. නමුත් ඔයාලා තව අවුරුදු 20ක්, 30ක්, 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ. දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න. මේකට කියන්නේ ABCDEF ක්‍රමය කියලා.

·         වයස (Age) - සාමාන්‍යයෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගැනිම. ඒක අවුරුදු 1ක්, 2ක්, 5ක්, 10ක් වෙන්න පුලුවන්. හැබැයි කෙල්ල වැඩිමල් වුනොත් වෙන වෙන ගැටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

·         ලස්සන (Beauty) - සමහරු කැමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්. හැබැයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඇති.

·         චරිතය (Character) - මුලින් කිවුව දෙකයි මේකයි තමා වඩා වෑදගත් වෙන්නේ. කෙල්ලෙක්ගේ චරිතය හරි නැත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

·         දෑවෑද්ද (Dowry) - අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නැති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

·         අධ්‍යාපනය (Education) - කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නැත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

·         පවුල (Family) - කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

මේක කියවලා අපේ යාලුවෝ හිත නරක් කර ගන්න එපා. හැබැයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ. අපේ මල් දෙවැටේ යාලුවොන්ගෙන් මේක ගෑන අදහස් ලැබෙනවනම් සතුටු වෙනවා.

මම පසුගිය සුමානෙ ඔයාලට කියලා දුන්නනෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා. අපි හිතමු ඔයා කෙනෙක් ගැන උනන්දුයි කියලා. ඒත් ඒ බව එයාට අඟවන්න ඕනනේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔබ කෙනෙකු ගැන උනන්දු බව අඟවන්නේ කොහොමද කියලයි.


මේකට ඉතින් මූලිකවම තියෙන්න ඕනෙ එක දෙයයි. ඒක තමයි කෙනෙකු ගැන හිතේ තියෙන ආකර්ෂණය හා ඒක එයාට අඟවන්න ඕනේ කියලා හිතේ තියෙන කැමැත්ත. දැන් අපි බලමු ඒක කරන්න තියෙන්නේ කොහොමද කියලා.

1.   එකිනෙකා හමුවීමට අවස්ථාවන් සලසාගන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔහු හෝ ඇය එනකන් ශාලාවක දොරකඩ රහසිගතව සිටීම, දහවල් ආහාර ගන්නා විට ඔහු හෝ ඇය ළඟින්ම සිටීම වගේ දේවල්.
2.   ඇසට ඇස හසුකරගන්න උත්සහ කරන්න. එසේ වූ විට සිනහ වෙන්න.
3.   ඔහු හෝ ඇය පසුකරගෙන යන අවස්ථාවකදී ඔහුට හෝ ඇයට කොහොමද කියා සුභ පතන්න.
4.   ඔහුගේ හෝ ඇයගේ යහලු යෙහෙලියන් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්න.
5.   ඔබ දෙදෙනා එකම පංතියකට යනවනම් ඒ අදාල විෂය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අසන්න.
6.   ඔහු හෝ ඇය කැමති කිසියම් මාතෘකාවක් සොයා බලන්න. පසුව ඒ ගැන සංවාදයකට මුල පුරන්න.
7.   ඔහු හෝ ඇය ඔබ සමග කතා කරකර සිටීමට කැමැත්තක් දක්වන්නේද කියා අසන්න.

සැලකිය යුතුයි

·         සාමන්‍යයෙන් ඔබත් මම වගේ නම් ඉහත පියවරයන්ගෙන් පුලුවන් ඔබ ඔහුට හෝ ඇයට කැමති බව අඟවන්න. හැබැයි මේ පියවරයන් ක්‍රමානුකූලව කරන්න ඕනේ.
·         ඔහු හෝ ඇය ඔබට දක්වන ප්‍රතිචාරය අසුභවාදී නම් කළකිරෙන්න එපා. ඔබට සුදුසු යයි සිතෙන හොඳම දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයකට පෙරළාගන්න පසුගිය සතියෙ වගේම මේ සතියෙත් ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !

සුභ රාත්‍රියක් යාලුවනේ. ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කියන එක ගැනයි. මේකට ඕනෙ කරන්නෙ ඔබ ගැන කවුරුහරි වඩා විමසිලිමත් වේද හෝ කිසිවෙක් ඔබට ලං වීමට උත්සහ කරයිද යන සැකය පමණයි.


අපි බලමු ඒ කොහොමද කියලා.

1.   ඔහු හෝ ඇය ඔබ දෙස කිහිප වරක්ම බලන්නේද යන්න නිරීක්ෂණය කරන්න.
2.   ඔබ සමහ ඔහු හෝ ඇය වුවමනාවට වඩා සිනහ වීමට උත්සහ කරයිද යන්න ගැන සැලකිලිමත් වන්න.
3.   ඔබ සෙනගක් අතර සිටින විට ඔහු හෝ ඇය ඔබව සෙවීමට උත්සහ කරයිද යන්න නිරීක්ෂණය කරන්න.
4.   ඔහු හෝ ඇය එක්වරම ඔබගේ යහලු යෙහෙලියන් පිළිබඳ විශේෂත්වයක් දක්වන්නේද යන්න සොයා බලන්න.
5.   ඔබ සම්බන්ධයෙන් මෑතකදී ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් රටාවන්හි වෙනසක් වූවාද යන්න කල්පනා කර බලන්න.
6.   ඔහු හෝ ඇය පිළිබඳ ඔබගේ උනන්දුවෙහි වැඩිවීමක් පෙන්නුම් කර එයට ඔහු හෝ ඇය ප්‍රතිචාර දක්වන අයුරු නිරීක්ෂණය කරන්න.
7.   ඔබගේ හෝ ඔහු හෝ ඇයගේ යහලුවකු ලවා, ඔහු හෝ ඇය සමග, ඔබ පිළිබඳව කතාබහකට මුල පිරීමට සලස්වන්න.
8.   ඇයගේ නමින් අමතා ඔහු හෝ ඇය ඔබ කෙරෙහි විශේෂත්වයක් දක්වන්නේදැයි කෙලින්ම අසන්න.

සැලකිය යුතුයි

·         යාලුවනේ ඔයාලට ඔහු හෝ ඇය ඔබ ගැන විශේෂත්වයක් දක්වනවා කියා හැඟෙන්නෙ නැත්නම් පමණක් 7 හා 8 පියවරයන්ට යන්න. සමහර විට ඔයාලට ඒ පියවරයන් අවශ්‍ය නොවේවි.
·         මේක ව්ද්‍යාත්මකව පිළිගත්තක් නෙවෙයි. ඒ නිසා ඔයාලගෙ දැනීමෙ හැටියට සුදුසුයි කියලා හිතෙනෙ දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයකට පෙරළාගන්න ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !

ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කොහොමද ගැහැණු ළමයෙක්ගෙ හදවතක් දිනා ගන්නෙ කියලයි. මේක හැමෝටම හරි යන්නෙ නැති වෙයි. ඒත් ගොඩක් යාලුවන්ට මේක ප්‍රයේජනවත් වෙයි ගැහැණු ළමයකුට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න යන අවස්ථාවෙදි.


මට මේක හම්බුනේ යාලුවෙක් එවපු Email එකකින්. මේක මල් දෙවැටෙ යාලුවන්ට ප්‍රයේජනවත් වෙයි කියලා හිතුන නිසා මං මේක ඔයාලත් එක්ක බෙදාගන්නවා. කියවලම බලන්නකො.

1.   ඕනෑවට වඩා ඇයට කරදර කරන්න යන්න එපා.
2.   අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න.
3.   හිතන හැම දෙයම කියන්න යන්න එපා.
4.   ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන්න යන්න එපා.
5.   නිතරම පිළිවෙලට ඉන්න.
6.   ඔබත් කාර්‍යබහුල බව අඟවන්න.
7.   ඇය ඉදිරියේ වන අය විවේචනය කරන්න යන්න එපා.
8.   ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා.
9.   ඔබටත් ආත්ම ගෞරවයක් තිබෙන බව පෙන්වන්න. ඇගේ ආදරය ඉල්ලා සිඟමන් යදින්න එපා.
10. ඉවසීමෙන් සැනසීම ලැබේවි.

ඔන්න ඕව තමයි ඒකෙ තිබුන කාරණා. මේකට මමත් දෙයක් එකතු කරන්න කැමතියි. ඇයගේ සිතට ඔබ කවුද කියන එක ඒත්තු ගන්වන්න. වෙනත් කෙනෙක්ව අනුකරණය කරන්න යන්න එපා. ඔබටම අනන්‍ය වූ පෞරෂ්‍යත්වයක් ගොඩනගා ගන්න. නියම වෙලාව ආවිට ඇයට ඔබගේ අදහස පවසන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යාලුවනේ ඔයාලගෙ ආදරයට මල් දෙවැටෙන් සුභ පැතුම්.. !

(මල් දෙවැටේ අදහස් ඔබේ Facebook හා Twitter යහලුවන් සමග බෙදාගෙන අප සමග එකතුවන යහලුවන් පිරිස වැඩි කරගැනීමට අපට සහය වන්න)

අද මල් දෙවැටෙන් කියන්න යන්නේ හොඳ බිරිඳක් වෙන්න නම් අනුගමනය කළ යුතු පියවර කිහිපයක්. මේකත් කියවලා ඔයාලගෙ අදහස් ලියන්නකෝ. මේක ඔයාලගේ Facebook යාලුවොත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.


පළමු පියවර
නිතර නිතර යම් යම් දේවල් ඔහුගෙන් ඉල්ලා සිටීමේ කන්දොස්කිරියාව හැකිතාක් අඩුකර ගන්න බලන්න. මෙයින් ඔබේ සම්බන්ධයට දැඩි වශයෙන් බාධා ඇතිවීමට ඉඩ තිබේ. ඔබට යමක් වුවමනා නම් ලස්සන ප්‍රිය වදනින් හා කිසියම් ගරුත්වයකින් යුතුව ඉල්ලා සිටින්න. නිසැකවම ඔබට එය ලැබේවි.

දෙවන පියවර
දවසේ වැඩ රාජකාරී නිමවී සවස් යාමයේ ඔහු පැමිනෙන විට සුන්දර සිනහවකින් යුතුව ඔහුව පිලිගන්න. ඔහුගේ දවස ගැන විශේෂයෙන් වැඩ රාජකාරී බහුල දිනයක් නම් ඒ ගැන ඔහුත් සමග කතා කරන්න. ඇත්තටම ඔහුගේ මානසික පීඩනයට එය සහනයක් ගෙන දේවි.

තෙවන පියවර
ඔහුව පුදුම හා සතුටට පත්වන දේ කරන්න. ඇත්තටම එය විශාල දෙයක් නෙවෙයි. ඔබ කළ යුත්තේ ඔහු කැමතිම ආහාරයක් පිළියෙල කිරීම නැතිනම් කැමති දෙයක් තෑග්ගක් ලෙස දීම විය හැක. ඔහුට ඔබ කෙරෙහි ඇති ආදරය වැඩි වේවි.

හතරවන පියවර
ඔහුට නිදහසේ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. ඔහුගේ යහලුවන් සමග විනෝද වීමට, ඔහුගේ ප්‍රියතම විනෝදාංශය හෝ ක්‍රීඩාවේ නිරත වීමට ඉඩ දෙන්න. සෑම කෙනෙකුම තම නිදහස අගයන බව අමතක නොකරන්න.

පස්වන පියවර
දවස් කීපයකට සැරයක් ඔහු කැමතිම ආහාර පාන පිළියෙළ කරන්න. එය ඔහුගේ සතුටට හේතු වේවි. ඔබට ප්‍රශංසා කරාවි.

හයවන පියවර
ඔබ ඔහු කෙරේ දක්වන ආදරය ගැන නිරතුරුවම කතා කරන්න. ඔහුව අගයන්න. ඔබ විඩාවට පත්වී ඇති අවස්ථාවක වුවද ඔහු කෙරේ ඔබගේ නොසැලෙන ආදරය කියා පෑමට කාලය සොයාගන්න. ඔහුට ඔබ ගැන ඇත්තටම පුදුම ආදරයක් සිතේවි.

හත්වන පියවර
ඔහු උනන්දුව දක්වන දේ කෙරෙහි ඔබද උනන්දුවෙන් සහභාගී වෙන්න. ඔහුගේ කටයුතුවලට සහභාගී වීමට ප්‍රිය කරන අයෙකු වන්න. ඔහුත් සමග ක්‍රිකට් තරඟයක්, පාපන්දු තරඟයක් නරඹන්න. ඔබ අකැමති උනත් ඔබගේ ඒ කැප කිරීම ඔහුගේ සතුටට හේතු ගෙන දේවි.

ඉතාම සුලු ඔවදන් කිහිපයක් වුනත් මේවා ඔබේ යුග දිවියට ළඟා කර ගත්තොත් ඔබට ආදරණීය බිරිඳක් විය හැකි බව තේරුම් යාවි.

අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ ටිකක් අමුතු විදිහෙ කතාවක්. මේක අමුතුයි කියන්නෙ මේ කතාවෙ ඉන්න චරිත නිසයි. ඒ කියන්නෙ මේ කතාවේ චරිත මිනිස්සු නෙවෙයි. මනඃකල්පිත කතාවක්, මේකෙ චරිත තමයි ලෝබකම, ආදරය, කපටිකම වගේ මිනිස්සු අතර තියෙන ගතිගුණ. බලන්නකෝ මේක කියවලා.


ඔන්න එක දවසක් ශක්රන දෙවියො මිනිස්සු අතර තියෙන ගතිගුණ ඔක්කොම එකතු කරලා එක තැනක තියලා වැඩකට ගියා. ඔන්න ඉතින් මේ කට්ටියට හරිම කම්මැලියි. මෙයාලා හිතුවා සෙල්ලමක් කරන්න. ඔන්න හැමෝම කතා වෙලා හැංගි මුත්තන් කරන්න ලෑස්ති උනා. එක පාරටම “උමතු කම” නැගිටලා කිව්වා, “ඔන්න මම තමයි හොයන්නේ කියලා”. අනිත් අයත් කැමති වෙලා ඔන්න ඉතින් කට්ටියම හැංගෙන්න උනා.


“වංචාව” ගලක් පිටිපස්සේ හැංගෙනවා කියලා හැංගුණේ පඳුරක් පිටිපස්සේ. මොකද එයා කරන්නේ වංචාවමනේ. ඔය වගේ හැමෝම එක එක තැන් වල හැංගුණා. දැන් “උමතුව” මෙයාලව හොයන්න ගත්තා. ටිකින් ටික මෙයාලා හැමෝමව හොයාගන්න “උමතුවට” පුලුවන් උනා. ඒත් තවමත් “ආදරය” හැංගුණේ කොහේද කියලා හොයාගන්න “උමතුවට” බැරි උනා.


එතකොට “ඊර්ෂයාව” කිව්වා. “මම දන්නවා “ආදරය” හැංගුණේ කොහේද කියලා. එයා ඔය රෝස පඳුර පිටිපස්සේ ඉන්නේ” කියලා. උමතුව හොරෙන් හොරෙන් ගිහින් එකපාරටම රෝස පඳුරට පැන්නා “ආදරය” අල්ලගන්න හිතාගෙන. එතකොට එකපාරටම මහ හයියෙන් කෑගහිල්ලක් ඇහුණා. අනේ මොකද දන්නවද උනේ? රෝස කටු දෙකක් ඇනිලා “ආදරය”ගේ ඇස් දෙකම අන්ධ උනා. මේක දැකපු හැමෝම වගේම “උමතුවත්” දුක් උනා.


මේ හැම දෙයක්ම බලාගෙන හිටිය ශක්රන දෙවියෝ ඇවිල්ලා “උමතුව”ට මෙහෙම කිව්වා. “දැන් “ආදරය” අන්ධයි. එයාට තනියම ජීවත් වෙන්න බෑ. ඒ නිසා අද ඉඳලා ඔයා “ආදරය” ළඟින්ම ඉන්න ඕනෙ.”


මෙන්න මේ විදිහට තමයි ආදර්ය අන්ධ වගේම උමතු උනේ.

මල් දෙවැටෙන් ඔයාලව හමුවන්න එන්නෙ කාලෙකට පස්සෙ. අද මාතෘකාව ආදරය ගැන.

සිතුම් පැතුම් කොපමණ ගැලපුණත් කාලයක් ළඟින් ඇසුරු කළ ආදරවන්තයන්ටද පොරොන්දම් නොගැලපීම නිසා විවාහ වීමට නොහැකි වූ අවස්ථා කොතෙකුත් ඇත. එහෙත් බොහෝ විට දෙදෙනෙකු පෙමින් බැඳෙන්නේත්, ඇසුරු කරන්නේත් පොරොන්දම් බළලා නෙවෙයි.

නමුත් 100% ම පොරොන්දම් ගැලපී විවාහ වී ඉතා ටික කලකින් පවුල් ජීවිතය දෙදරා ගිය අවස්ථා මෙන්ම තනි කැමැත්තට කිසිම පොරොන්දමක් නොබලා විවාහ වී අති සාර්ථක පවුල් ජීවිත ගත කරන පිරිස්ද සමාජයේ ඉන්නවා.

පොරොන්දම් බැලීම කියන්නේ දෙදෙනෙක් විවාහ වන විට ඒ දෙදෙනාගේ කේන්දර අනුව පෞරුෂත්වය, රුචිකත්වය, අදහස් උදහස් ආදිය කොතෙක් දුරට ගැළපේද යන්න එක්තරා චක්‍රයකට අනුව බැලීමයි.

ජෙතිෂ්‍යට අනුව ඕනෑම කෙනෙක්ගේ පොරොන්දම් 20ක් තියෙනවා. මෙහි ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සියලු ගති ලක්ෂණ ඇතුළත්. පොරොන්දම් ගැලපීමේදී සිදුවන්නේ මෙම අයෙකුගේ ගති ලක්ෂණ අනෙක් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගති ලක්ෂණ හා කොතෙක් දුරට ගැළපේද යන්න විමසා බැලීමයි.

සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා පොරොන්දම් විස්සෙන් දහයකට වඩා ප්‍රමාණයක් ගැළපිය යුතුයි. මෙම ප්‍රමාණයට ප්‍රධාන වශයෙන් ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇතුලත්. ලග්න, රාශ්‍යාධිපති, නැකැත්, වශී, ගණ හා යෝනි පොරොන්දම, ඒ ප්‍රධාන පොරොන්දම් වර්ගයි.

වසර ගණනාවක් පෙම්වතුන් වශයෙන් ඇසුරු කිරීම නිසා දෙදෙනා තුලම හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන එකිනෙකා වෙනුවෙන් කැපවීමට හැකි ආකාරය තේරුම් ගන්නවා. අඩුපාඩු දුර්වලකම් මේ හැම දෙයක් ගැනම දෙදෙනා තුළ වැටහීමක් ඇති වෙනවා. පොරොන්දම් බැලීම යනුවෙන් දෙදෙනාගේ කේන්දර අනුව චක්‍රයක් ගොඩනගා ගනිමින් කරන්නේත් මේ දෙයමයි. නමුත් එයින් ලැබෙන විසඳුමට වඩා සියයට සියයක සාර්ථක ප්‍රතිඵලයක් දෙදෙනෙක් වසර ගනනාවක් ආදරයෙන් බැඳී සිටීමෙන් ඇති වෙනවා. විවාහ දිවියට අවශ්‍ය වන්නේත් එයම නේද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් මං ඔයාලව හමුවෙන්න ආවා. මගේ කාර්‍ය්බහුලත්වය නිසාම මල් දෙවැටෙ යාලුවොත් එක්ක එකතු වෙන්න නොහැකි වීම ගැන මං මුලින්ම සමාව ඉල්ලනවා. අදත් කියන්න යන්නෙ කථාවක්. මේක මට උන දෙයක් නෙවෙයි. ඒත් කතාව කියන්නෙ වෙන කෙනෙක්. මං එයා කියන විදිහට තමයි කතාව ගොඩනගන්නෙ. මේකයි කතාව.

මං කඩේ ඇතුලෙ ඇවිද ඇවිද ඉන්නකොට මං දැක්කා කඩේ cashier, එතන හිටපු පිරිමි ළමයට ආයෙත් සල්ලි දෙනවා. ඒ ළමයගෙ වයස අවුරුදු 8කට වැඩි වන්න බෑ. Cashier කිව්වා ඒ බෝනික්කාව ගන්න සල්ලි මදි කියලා. එතකොට ඒ ළමයා එතන හිටපු කාන්තාවකගෙන් ඇහුවා cashier කියන්නෙ ඇත්තද කියලා. ඇය ඔව් කිව්වා.

ඇය ඒ ළමයට ඉන්න කියලා ඊට වඩා ගාන අඩු බෝනික්කෙක්ව හොයන්න ගියා. ළමයා අර බෝනික්කව තියාගෙන තාමත් එතන ඉන්නවා. මං ඔහු ළඟට කිට්ටු වෙලා ඇහුවා බෝනික්කා කාටද කියලා.

ඔහු කිව්වා, “මේක තමයි මගේ නංගි නත්තල් සීයා එයාට නත්තලට දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු බෝනික්කා.” එතකොට මං කිව්වා “දුක්වෙන්න එපා, නත්තල් සීයා එයාට ඒක දේවි කියලා.”

ඒත් ඒ ළමයා දුකින් කියනවා, “නත්තල් සීයට මේක දැන් නංගි ඉන්න තැනට ගිහින් දෙන්න බෑ. මං මේක අම්මට දෙනවා, එතකොට අම්මා ඒක නංගිට දෙයි එයා නංගි ඉන්න තැනට ගියාම.” මේක කියනකොට ඒ ළමයගේ ඇස් දුකින් බරවෙලා තිබුනෙ. “මගේ නංගි දිව්‍ය ලෝකෙ ගියා. තාත්තා කියනවා අම්මත් ඉක්මනටම දිව්‍ය ලෝකෙ යනවලු. ඒ නිසා මං හිතුවා මේ බෝනික්කව අම්මා අතේ නංගිට යවන්න.

මට මගේ හදවත නතර වෙනවා වගේ දැනුනා. මේ ළමයා මං දිහා බලලා මට කියනවා, “මං තාත්තට කිව්වා අම්මට කියන්න කියලා මං එනකන් යන්න එපා කියලා. මට ඕනෙ අම්මව මං කඩේ ගිහින් එනකන් යන්න නොදී තියාගන්න.

ඊට පස්සෙ ඔහු මට එයාගෙ ලස්සන පින්තූරයක් පෙන්නුවා. එයා හිනාවෙලා කියනවා, “අම්මට මං මේ පින්තූරෙ දෙනවා, එතකොට එයාට මාව අමතක වෙන්නෙ නැති වෙයි.” මෙහෙමත් කියනවා, “මං අම්මට ගොඩක් ආදරෙයි. මං කැමතියි අම්මා මං ගාවම තියාගන්න. ඒත් තාත්තා කියනවා නංගි තනියෙන් නිසා අම්මා එහේ යන්න ඕනෙලු.

එහෙම කියලා ඔහු නිහඬවම බෝනික්කා දිහා දුකින් බැලුවා. මගේ අත පසුම්බියට ළගා උනා. “අපි බලමු ආයෙත් මේ බෝනික්කාව ගන්න සල්ලි ඔයා ලඟ තියෙනවද කියලා.” මං කිවා. ඔහු ළඟ තිබුන මුදල් මට දුන්නම මං ඔහුට නොදැනෙන්න සල්ලි ටිකක් එකතු කළා. ආයෙත් ගනන් කලාම වැඩිපුරත් එක්ක මුදල් තිබුනා.

එතකොට ළමයා කියනවා. “දෙවියන්ට ස්තුති වෙන්න ඕනෙ මට ඇති තරම් සල්ලි දුන්නට. මම පෙරේදා නින්දට යනකොට දෙවියන්ට කිව්වා මට මේ බෝනික්කා ගන්න ඇති තරම් සල්ලි තියෙන්න කියලා. ඒක දෙවියන්ට ඇහෙන්න ඇති.”

“ඒ වගේම මට ඕනෙ කලා අම්මට දෙන්න සුදු රෝස මලක් ගන්නත්. ඒත් ඒක ගන්න සල්ලි ඉල්ලලා මං දෙවියන්ට කරදර කළේ නෑ. ඒත් දෙවියෝ මට බෝනික්කයි, රෝස මලයි දෙකම ගන්න සල්ලි දීලා. අපේ අම්මා සුදු රෝස මල් වලට හරිම ආසයි.”

එදා මං ගෙදර ගියේ අමුතුම හිතකින්. මට ඒක නිතරම මතක් උනා. පත්තරේ මීට දින දෙකකට කලින් උන අනතුරක් මට මතක් උනා. මං පත්තරේ ආයෙත් බැලුවා. ඒකෙ තිබුන අනතුර වෙලා තිබුනෙ බීපු මිනිහෙක් කාර් එකක් හප්පපු නිසා. කාර් එකේ තරුණ කාන්තාවකුයි, කුඩා ගැහණු ළමයෙකුයි ඉඳලා. ළමයා එතනම මිය ගිහින්. කාන්තාවට බරපතල තුවාල වෙලා දැනට ඉන්නෙ කෝමා තත්ත්වයෙලු. ජීවිතේ රැඳිලා තියෙන්නෙ රෝහලේ යන්ත්‍ර මගින්ලු. ඒ නිසා ඇගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න පවුලේ අයට ඉඩ දීලාලු. මේ අර ළමයගෙ පවුලද?

දින දෙකකට පස්සෙ ඒ කාන්තාව මිය ගිය බව පත්තරෙන් දැනගන්න ලැබුණා. මට නොදැනුවත්වම මාව අවමංගල්‍යයට යන්න පෙළඹුණා. මං සුදු රෝස මල් පොකුරක් අරන් ගියා. ඈට අවසන් ගෞරව දක්වන්න ඇගේ දේහය ළඟට ගියා.

ඇගේ අතේ සුදු රෝස මල් පොකුරක් තිබුණා. ඇගේ දේහයේ ළමැද පින්තූරයක් එක්ක බෝනික්කෙකුත් හිටියා. මං ඒ ස්ථානය කදුලු පිරුණු දෑසින් හැර ගියා.

ඒ පොඩි ළමයාගේ හිතේ අම්මාටයි නංගිටයි තිබුණ ආදරය කොයිතරම්ද කියලා හිතුණා. ඒත් ඒ සේරම බීපු මිනිහෙක් අරන් ගිහින්.

මල් දෙවැටේ යාලුවනේ, මේක හිතට ගන්න. කිසිම දිනක බීලා වාහන එළවන්න එපා. පුලුවන්නම් මේ පණිවිඩය ඔයාලගේ Email හා Facebook යාලුවොත් එක්කත් Share කරගන්න.

අද මල් දෙවැටෙ ඔයාලගෙන් මුලින්ම මම  සමාව ඉල්ලනවා. ඒ අද ඔයාලට මේකෙ බලන්න වෙන්නෙ මගේ පෞද්ගලික සටහනක් නිසා. මම ගොඩක් ආදරය කරන මගේ ති....... නංගි හා මගේ ආදරයේ 500 වන දින සැමරුම වෙනුවෙනුයි මම මේක ලියන්නේ. ඒ නිසා මගේ යාලුවන්ගෙන් මම අද සමාව ඉල්ලනවා ඔයාල වෙනුවෙන් යමක් පල කිරීමට නොහැකි වීම ගැන.

ආදරණීය ති....... නංගිට,

2008 වසරේ බිනර මාසයේ එක් සොඳුරු දිනයක ආදරයත් රැගෙන මා වෙත පියමැන්න ඔයාගෙ පින්බර නෙතු ගැටුණු කල මටත් හොරා මගේ හිත ඔයාට ආදරය කලා. ඒ ආදරය නිසාම සමහර අවස්ථාවල මගේ ඇස් වලට කඳුලු පිරුණා. වප් මාසයේ තුන්වන දින ඔයාගෙන් අයැද සිටි ඒ ආදරය මා වෙත නැවත එන්න මාස ගණනක් ගත උණා. ඒ අතරතුර කාලය තමයි මගේ ජීවිතයේ ගෙවුණු අසීරුතම කාලය.


ඒ කාලයේ ඔයාගෙ දෙනෙතේ එක බැල්මකින් පවා මගේ හිත හිනැහුණා. ඔයාගෙ කටහඬ හිත ඇතුලෙ දෝංකාර දුන්නා. ඒ පීඩනය හිතේ තියාගෙන ගෙවුණු මාස ගැන කල්පනා කරද්දී මටම පුදුමයි මම කෙල්ලෙක්ට මේ තරම් ආදරය කරන විදිහ හිතෙනකොට. ඔයාට මතකද මගේ වියලුණු කතරට දිය බිඳක් රැගෙන ඔයා ආපු දිනය? අදට හරියටම දින 500 යි.


මේ ගෙවුණු දින 500 ට මගේ ආදරය තව තවත් වැඩි උනා මිසක් බිඳුවක්වත් අඩු වෙලා නෑ. උදේ හවා මට ඔයාව සිහිවෙන්නෙ ආදරය නිසයි. ඔයාව නොදැක මට මොහොතක්වත් ඉන්න බෑ. සිහිනයෙන් සිහිනයට පේන්නෙ ඔයාව විතරමයි නංගි. උදාවෙන හැම දිනයකම පලමු සිතිවිල්ල ඔයා. මගේ ජීවිතයට සිනහව ගෙනාපු ඔයාට මම ගොඩක් ආදරෙයි. හැම ආත්මෙකම ඔයා මගේම වෙන්න කියලයි මම පතන්නේ.


දහසක් ළඳුන් දුටුවත් පවතින තුරු දිවිය
නුඹයි එකම ළඳ මගෙ සිත ඇදී ගිය
නොදනිමි කිමද නුඹටම සිත ඇදී ගිය
සොයනෙමි කිමද නුඹටම සිත බැඳී ගිය


මේ ඔයාට පණටත් වඩා ආදරය කරන ඔයාගෙම අයියා....


මේ කථාව මට ආපු Email එකක්. මට හිතුනා ඒක මල් දෙවැටෙ මගේ යාලුවොත් එක්ක බෙදාගන්න එක හොඳයි කියලා. ඒ නිසා මං මේක සිංහලට පරිවර්ථනය කලා. කියවලාම බලන්නකො.

ඔහුට ඇයව මුලින්ම මුණ ගැසුනෙ උත්සවයකදි. ඇයගෙ හැසිරීම් රටා හා රූපය එතන හිටපු පිරිමි බොහෝ දෙනෙක්ගෙ සිත් ගත්තා. ඒත් ඔහු එතන හිටපු අයගෙන් බොහොම සාමාන කෙනෙක්. කිසිම කෙනෙක්ගෙ අවධානය දිනා ගත්තෙ නෑ. සම්භාෂණය අවසානයේ ඔහු ඇයට කෝපි බීමට කථා කලා. ඇයට මේ ගැන පුදුම හිතුනත් ඔහුගෙ තිබුන විනීතකමට ඇයට ඒ ඉල්ලීම අහක දාන්න බැරි උනා. මේ දෙන්නා කෝපි බොන්න අවන්හලකට ගියා. ඔහු කිසිවක් කියාගන්න බැරිව කලබලාකාරී ගතියකින් හිටියෙ. මේ නිසා ඇය හිතුවා ඇයට ඉක්මනින්ම මෙතනින් යන්න තිබුනනම් හොඳයි කියලා.

හදිසියේම ඔහු වේටර්ට මෙහෙම කිව්වා. “මට ලුණු ටිකක් දෙනවද මගේ කෝපි එකට දාන්න?” හිටපු හැමෝම අමුතු විදිහට ඔහු දිහා බැලුවා. ඔහුගෙ මුහුණ රතු උනා. ඒත් ඔහු ලුණු ටික කෝපි එකට දාලා ඒක බිව්වා.

ඔහු කරපු දේ ගැන උනන්දුවෙන් සිටි ඈ ඔහුගෙන් මෙහෙම අහුවා. “ඒ කරපු දේ ඒ කාලෙ ඉඳන්ම ඔයාගෙ පුරුද්දක්ද?”

“මම පොඩි කාලෙ අපි ජීවත් උනේ මුහුදක් අයිනේ. මම ගොඩක් ආසයි මුහුදෙ සෙල්ලම් කරන්න. මේ ලුණු රහ කෝපි එක වගේම තමයි මට ඒ මුහුදෙ තියෙන රසයත්. මට හැම වෙලාවකම මගේ පොඩි කාලෙ මතක් වෙනවා. මට මං උපන් ගම මතක් වෙනවා. මට ඒ පාලුව දැනෙනවා. තවමත් එහේ ජීවත් වෙන මගේ දෙමව්පියන් නැති පාලුව දැනෙනවා.” ඇස් වල කඳුලු පුරෝගෙන ඔහු කිව්වා. මේ සිද්ධියෙන් ඔහු ඇගේ සිත් ගත්තා.

ඇය හිතුවා මේ ඔහුගෙ ඇත්තම සිතුවිලි වෙන්න ඇති කියලා. තමන්ගේ නිවසින් ඉවත්වී සිටීමේ දුක කියන්න පුලුවන් කෙනා තමන්ගෙ ගෙදරට ගොඩක් ආදරේ කරන, හොයලා බලන, වගකීමක් ඇති කෙනෙක් කියලා ඈ සිතුවා. ඒ නිසා ඇයත් ඇගේ ගෙදරින් දුරක සිටීමේ දුක, ඇගේ ළමා කාලය, පවුලෙ විස්තර ආදිය කිව්වා. මේක ගොඩක් සුන්දර කතාවක් උනා වගේම ඒ දෙන්නාගෙ ආදර කතාවේ ආරම්භයත් උනා.

මෙහෙම කිහිප දිනක් මේ දෙන්නා හමුවී කතා කරනකොට ඇයට හිතුනා ඔහු තමයි ඇගේ උරුමක්කාරයා බව. ඔහුට ඉවසීම, සොයාබැලීම, අවංක බව වගේම ආදරණීය හදවතකුත් තිබුණා. ඔහු ගොඩක් හොඳ කෙනෙක් බව හැඟුණා. ඔහුගෙ ලුණු දාපු කෝපි එක නොවන්නට ඇයට ඔහුව මගහැරීමට ඉඩ තිබුණා නේද කියලා ඇයට හිතුණා. හැම ලස්සන ආදර කතාවකම වගේ මේ දෙන්නත් එකතු උනා. මේ දෙන්නා සතුටින් ජීවත් උනා. ඇය ඔහුට කෝපි හදන හැම වෙලාවකම කෝපි එකට ලුණු ටිකක් දැම්මා. ඇය හිතුවා ඔහු ඒකට ගොඩක් කැමතිවෙයි කියලා. අවුරුදු 40 කට පස්සේ ඔහු ජීවතුන් හැර ගියා. ඔහු ඇයට මෙහෙම ලියුමක් ලියලයි මිය ගොස් තිබුණෙ.

“මගේ සොඳුරිය, මට සමාවෙන්න. මගේ ජීවිත කාලෙම බොරු කලාට සමාවෙන්න. මේක තමයි මං ඔයාට කියපු එකම බොරුව. ඒ ලුණු දාපු කෝපි එක ගැන. අපි හමු උන මුල්ම දවස ඔයාට මතකද? එදා මම හරිම නොඉවසිල්ලෙන්, අපහසුතාවෙන් හිටියේ. මට ඕනෙ උනේ සීනි ටිකක්. ඒත් මට ඒ වෙලාවෙ කියවුනේ ලුණු කියලයි. ඒක මට ඔයා ඉස්සරහ ආයේ කියන්න ලැජ්ජා හිතුනා. ඒ නිසා එහෙමම මං ලුණු දාලා බිව්වා. මං කවදාවත් හිතුවෙ නෑ ඒක අපේ ජීවිතයෙ ආරම්භය වෙයි කියලා.”

“මං ඔයාට ඇත්ත කියන්න හුඟක් උත්සහ කලා. ඒත් මට බය හිතුනා. ඒ නිසා මං හිතාගත්තා ආයෙත් ඔයාට කිසිම බොරුවක් කියන්නෙ නෑ කියලා. මේ මගේ මරණ මංචකය. ඒ නිසා ඔයාට ඇත්ත කියන්න මං පැකිලෙන්නෙ නෑ. ඇත්තටම මං ලුණු දාපු කෝපි වලට කැමතිම නෑ. ඒකෙ තියෙන්නෙ හරිම ජරා රහක්. ඒත් මට මුලු ජීවිත කාලෙම බොන්න උනේ ලුණු දාපු කෝපි. ඒත් ඔයා මට දුන්න ලුණු දාපු කෝපි මං බිව්වෙ ඔයාට තියෙන ආදරේ නිසයි.”

“ඔයත් එක්ක හිටපු කාලෙ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලය. ආයෙත් පාරක් මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, ඒ මුලු ජීවිත කාලෙම මට ලුණු දාපු කෝපි බොන්න උනත්, මං ඔයත් එක්ක ඉන්නවා.”

මේ ලියුම බලලා ඇගේ ඇස් වලින් කඳුලු කඩා හැලුනා. කවදාහරි ඇගෙන් කවුරුන් හෝ කෙනෙක් ලුණු දාපු කෝපි මොන රහද කියලා ඇහුවොත් ඇය කියාවි “ඒක හරිම පැණි රහයි” කියලා.

අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ තවත් කථාවක් ගැන. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නෙ අපේ මල් දෙවැටත් එක්ක එකතු වෙලා ඉන්න ආදරයෙන් බැදිලා ඉන්න අපේ යුවල් වලට. ඒත් ඉතින් තනිකඩ අපේ යාලුවන්ටත් මේකෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කලින්ම කියන්න ඕනෙ මේක සත්‍ය කතාවක් බව. එහෙනම් අපි කතාව කියවමුකෝ.

මේ කතාව පටන් ගන්නේ Jocelyn (ජොසලින්) හා William (විලියම්) යන දෙදෙනාගේ විවාහ උත්සවයෙන්. මේ දෙදෙනාගේ විවාහ උත්සවය අවසානයේ ජොසලින්ගේ අම්මා එයාට $ 1000 ක් තැන්පත් කරලා අලුතින්ම විවෘත කරපු බැංකු පාස් පොතක් දීලා ජොසලින්ට මෙහෙම කිව්වා.

“ජොසලින් මේ බැංකු පාස් පොත ගන්න. මේක ඔයාලගෙ විවාහයේ සටහනක් විදිහට තියාගන්න. ඔයාලගෙ අලුත් ජීවිතයේ මොකක්හරි සතුටුදායක හෝ මතක හිටින දෙයක් උනොත් මේකට සල්ලි කීයක් හරි දාන්න. දාලා ඒ සතුටට හේතුව මොකක්ද කියලා මේකෙ පැත්තකින් ලියන්න. වැඩියෙන් සතුටුදායක හෝ මතක හිටින දෙයක් උනොත් වැඩියෙන් සල්ලි දාන්න. මුල්ම තැන්පතුව මම දැම්මා. ඔයා මේක විලියමුත් එක්ක කරගෙන යන්න. කාලයක් යනකොට මේක බලලා ඔයාලට පුලුවන් ඔයාලා කොයිතරම් සතුටින් හිටියද කියලා බලාගන්න.”

ජොසලින් මේ අදහස විලියම් එක්ක බෙදාගත්තා. දෙන්නම හිතුවා මේක ගොඩක් හොඳ අදහසක් කියලා. එයාලා අලුත් ගෙදරකට ගියා. මේ දෙන්නා ගොඩක් උනන්දුවෙන් හිටියේ මොකක්ද එයාලගෙ දෙවන තැන්පතුව කියලා බලාගන්න.

ටික දවසක් ගියාම මේ විදිහේ දෙයක් තමයි දැකගන්න පුලුවන් උනේ. මෙයාලගේ බැංකු පාස් පොතේ මුල් පිටුවේ සාරාංශයක් මං මෙහෙම දාන්නම්.

  • Feb 07 - $ 100  : විවාහ උත්සවයෙන් පසු විලියම්ගේ මුල්ම උපන්දින සැමරුම
  • Mar 04 - $ 300  : ජොසලින්ගේ වැටුප් වැඩිවීම
  • Mar 20 - $ 200  : බාලි දූපතට ගිය විනෝද චාරිකාව
  • Apr 16 - $ 2,000  : ජොසලින් ගර්භනී වීම
  • Jun 01 - $ 1,000  : විලියම්ට රැකියාවේ උසස් වීමක් ලැබීම

…………………….. ආදී සටහන් රැසක් තිබුණා.

කොහොමහරි අවුරුදු ගණනාවකට පස්සේ එයාලා සුලු දේකට පවා රණ්ඩු උනා. එකිනෙකාව විවේචනය කරන්න උනා. වැඩිපුර කතා කළෙත් නෑ. එයාලා බැන්දේ ලෝකෙ ඉන්න නරකම සහකාරයව කියලා හිතලා එයාලා කණගාටු උනා. කිසිම ආදරයක සේයාවක්වත් තිබුනෙ නෑ.

දවසක් ජොසලින් එයාගෙ අම්මට දුරකතනයෙන් කතා කරලා මෙහෙම කිව්වා. “අම්මෙ අපිට තවදුරටත් එකට ඉන්න බෑ. අපි දික්කසාද වෙන්න තීරණය කලා. මට හිතාගන්න බෑ ඇයි මං මේ මිනිහව බඳින්න තීරණය කළේ කියලා.”

එතකොට අම්මා මෙහෙම කිව්වා, “ඇත්ත කෙල්ලෙ, ඒකෙ ඇති වරදක් නෑ. තවදුරටත් ඔයාලට එකට ඉන්න බැරි නම් ඔයාට හිතෙන දෙයක් කරන්න. ඔක්කොටම කලින් එක දෙයක් කරන්න. මතකද මං ඔයාලට විවාහ දවසේ බැංකු පාස් පොතක් දුන්නා. ඒකෙ තියෙන ඔක්කොම සල්ලි අරන් වියදම් කරන්න. ඒ වගේ කාලකණ්නි විවාහයක සටහන් තවදුරටත් තියාගන්න එපා.”

ජොසලින්ට එයාගෙ අම්මගෙ කථාව ඇත්ත නේද කියලා හිතුනා. එයා බැංකුවට ගියේ ගිණුම අවලංගු කරලා සල්ලි ගන්න කියලා හිතාගෙන. ගිහින් පෝලිමේ ඉන්න ගමන් නිකමට පොත ඇරලා බැලුවා. ඒක බලනකොට එයාලගෙ විවාහයේ පරණ සතුටුදායක මතකයන් එකිනෙක මැවෙන්න ගත්තා. ඇගේ ඇස් කඳුලු වලින් පිරුණා. එයා ආයෙත් ගෙදර ගියා. ගෙදර ගියාම බැංකු පොත විලියම්ට දීලා දික්කසාදෙට කලින් ඒ සල්ලි ඔක්කොම වියදම් කරන්න කියලා කිව්වා.

ඊළඟ දවසෙ විලියම් බැංකු පාස් පොත ජොසලින්ට ආයෙත් දුන්නා. ජොසලින් සල්ලි අරන්ද බලන්න ඒක ඇරලා බැලුවා. බලනකොට ඒකෙ $ 5,000 ක අලුත් තැන්පතුවක් තිබුණා. ඒකෙ පැත්තකින් මෙහෙම තිබුණා.

“අද තමයි මං දැනගත්තෙ මේ අවුරුදු කීපයට මං ඔයාට මොනතරම් ආදරය කරලා තියෙනවද කියලා. ඔයා මට මොනතරම් සතුටක් ගෙනවිත් දීලද?”

පාස් පොත පැත්තකින් තියලා එයාල බදාගෙන අඬන්න ගත්තා. මං දන්නෙ නෑ එයාලා කොයිතරම් සල්ලි එකතු කරලද කියලා. ඒත් මම හිතන්නෙ වැදගත් වෙන්නෙ සල්ලි නෙවෙයි, එයාලා මේ අවුරුදු කීපයේ මොනතරම් සතුටින් හිටියද කියන එකයි.

අන්තිමට මං මල් දෙවැටෙන් මෙන්න මේ අවවාදය දෙනවා. “ඔයාල වැටෙනකොට වැටුනෙ කොතනින්ද කියලා බලන්න එපා, ඒ වෙනුවට ඔයාව ලිස්සුවෙ කොතනින්ද කියලා බලන්න. මොකද ජීවිතය කියන්නෙ වැරදි හදාගෙන ජීවත්වෙන එකයි.”

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට