ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක එකතු වෙන්නේ. මං හිතන්නේ අපේ ගොඩක් යාලුවන්ට මල් දෙවැට වියුණුව අමතක වෙලත් ඇති. ඔන්න අදත් ආදරය ගැන කතාවක් කියන්න යන්නේ. මේ මට ලැබුණ ඊමේල් එකක කතාවක්. මං ඒක පරිවර්ථනය කරලා දාන්නේ.

ඔන්න එක් කාන්තාවක් හවස වැඩ ඉවර කරලා ගෙදර ආවලු. මෙයාට ගොඩක් මහන්සියිලු. ඔන්න එක පාරම ඇයගේ අවුරුදු 5 පමණ වූ කුඩා දරුවා ඈ වෙත දිව ඇවිත් මෙහෙම අහනවලු.


දරුවා : අම්මේ මං ප්‍රශ්නයක් අහන්නද?
මව : හා කියන්න පුතේ.
දරුවා : අම්මේ අම්මට පැයකට කොච්චරක් පඩි හම්බෙනවද?
මව : ඔන්න කිව්ව ඕනෙ නැති පැහිච්චකමක්. දුවනව මගෙන් ගුටි නොකා.


මේ කාන්තාව ටිකක් තරහෙන් සැර කළා. ඊට පස්සේ ඇය මේ ළමයගෙන් මෙහෙම අහනවා.


මව : ඇයි පුතේ එහෙම ඇහුවේ?
දරුවා : අනේ කියන්නකෝ අම්මේ මට ඒක දැන ගන්න ඕන.
මව : ආ දැනගන්නම ඕනේ නම් හිතාගන්නකෝ රුපියල් 50 විතර කියලා.
දරුවා : ආ ඒකනේ.


ඔන්න එහෙම කියපු මේ ළමයා ඔලුව නවාගෙන ටිකක් කල්පනා කරනවලු. ඊට පස්සේ ආයේ මෙහෙම අහනවා. "අම්මේ මට රුපියල් 25 දෙනවද?"


ඔන්න මේ අම්මට හොඳටම කේන්ති ගියාලු. "ඒක තමයි මෙතන බොරු ප්‍රශ්න අහ අහ කැරකි කැරකි හිටියේ. මං මේ දවස තිස්සෙම මහන්සිවෙලා සල්ලි හොයනවා. තව එනවා මෙතන සල්ලි ඉල්ලන්න එක එක බොරු සෙල්ලම් බඩු ගන්න. දුවනවා කාමරේට. ගිහින් නිදාගන්නවා." මේක අහපු මේ කුඩා දරුවා හිමීට කාමරේට ගියාලු.


මේ කාන්තාව ළමය අහපු ප්‍රශ්න ගැන තරහින් හිත හිත හිටියලු. සල්ලි ඉල්ලන්න බොරු ප්‍රශ්න අහන්නත් පුරුදු වෙලා කියලා තරහින් හිටියත් ටික වෙලාවකින් මේ තරහ නිවිලා ගියාලු. ඈ දැන් මෙහෙම කල්පනා කරනවලු. මෙයා හැමදාම මෙහෙම සල්ලි ඉල්ලන්නෙත් නෑනෙ සමහරවිට පොඩි සෙල්ලම්බඩුවක් ගන්න ආසාවක් ඇති. අනික රුපියල් 25 කියන්නේ ලොකු ගානකුත් නෙවෙයි නෙ.


ඔන්න මේ අම්මා රුපියල් 25 කුත් අරන් කාමරේට ගියාලු. "පුතේ ඔයා නිදිද?" අම්මා ඇහුවලු. "නෑ අම්මේ මං නිදි නෑ." පුතා කියනවා.

මව : ඔයා ඒ වගේ ප්‍රශ්න ඇහුවම අම්මට තරහා යනවනේ පුතේ. ආ මෙන්න ඔයාට රැපියල් 25 ක්.


ඔන්න මේක ඇහුන ළමයා එකපාරම නැගිටලා හිනාවක් දැම්මලු. "ස්තුතියි අම්මේ". ඊට පස්සේ අත කොට්ටේ යටට දාලා මොනාද හොයනවලු. දැන් අම්මට පේනවලු කොට්ටේ යට කොල කෑලි, පරන බිල්, ටොෆි කොල වගේ ඒවා තියෙනවා. ඒ අතරේ ඈ දැක්කලු තව සල්ලි වගයකුත් තියෙනවා. මේ අම්මට තවත් තරහා ගියාලු. දැන් මේ ළමයා සල්ලි ගනිනවලු.


මව : ඔයා ළඟ සල්ලි තියාගෙනත් ඇයි මගෙන් තවත් සල්ලි ඉල්ලුවේ.
දරුවා : මට තව සල්ලි ටිකක් මදි වෙලා හිටියේ දැන් හරි.


"අම්මේ මෙන්න ඔයාට රුපියල් 50 ක්. ඔයාගේ කාලෙන් මට පැයක් දෙනවද? අනේ හෙට පැයක් කළින් ගෙදර එනවද? මට අම්මත් එක්ක එකට ඉදන් රෑට කන්න ආසයි." 


අම්මගේ ඇස් කඳුලින් තෙමුනලු. ඈ ඔහුව බදාගෙන සමාව ඉල්ලුවලු.


මේකෙන් අපේ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි අපේ කාලයෙන් අඩුම තරමේ පොඩි වෙලාවක්වත් අපි ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියන එක. අනෙක් අතට අපි හෙට මැරුනොත් අපි වැඩ කරන ආයතනය අපි වෙනුවට වෙන කවුරු හරි ගනීවි. ඒත් අපිට ආදරය කරන අයට ඒක කවදාවත්ම පුරවන්න බැරි හිස් තැනක් වේවි.