Showing posts with label විවාහය. Show all posts
Showing posts with label විවාහය. Show all posts

අද මල් දෙවැට සමග එකතු වෙන යාලුවොන්ට කියලා දෙන්න යන්නේ සාර්ථක විවාහ දිවියකට වැදගත් වන කරුණු කිහිපයක්. මේක විවාහ වුණු අයට වගේම විවාහ වෙන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වේවි. මොකද මේ කරුණු වලින් බොහෝමයක් අපේ මල් දෙවැට සමග එකතු වන පෙම්වතුන්ටත් අදාල වෙනවා. කියවා බලා තව මෙයට එකතු වෙන්න ඕන තවත් කරුණු තියෙනවනම් එකතු කරන්න අපේ මල් දෙවැටේ යාලුවන්ටත් පුලුවන්.


1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න.  දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය දුර දිග යාම පමණි.


2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්‍රශ්නය විසඳාගන්න.


3. එක් අයෙකුට දිනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.


4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්‍යවශ්‍යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.


5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.


6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.


7. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.


8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.


9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.


10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.


ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකයි.

අද මල් දෙවැටෙන් කියන්න යන්නේ හොඳ බිරිඳක් වෙන්න නම් අනුගමනය කළ යුතු පියවර කිහිපයක්. මේකත් කියවලා ඔයාලගෙ අදහස් ලියන්නකෝ. මේක ඔයාලගේ Facebook යාලුවොත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.


පළමු පියවර
නිතර නිතර යම් යම් දේවල් ඔහුගෙන් ඉල්ලා සිටීමේ කන්දොස්කිරියාව හැකිතාක් අඩුකර ගන්න බලන්න. මෙයින් ඔබේ සම්බන්ධයට දැඩි වශයෙන් බාධා ඇතිවීමට ඉඩ තිබේ. ඔබට යමක් වුවමනා නම් ලස්සන ප්‍රිය වදනින් හා කිසියම් ගරුත්වයකින් යුතුව ඉල්ලා සිටින්න. නිසැකවම ඔබට එය ලැබේවි.

දෙවන පියවර
දවසේ වැඩ රාජකාරී නිමවී සවස් යාමයේ ඔහු පැමිනෙන විට සුන්දර සිනහවකින් යුතුව ඔහුව පිලිගන්න. ඔහුගේ දවස ගැන විශේෂයෙන් වැඩ රාජකාරී බහුල දිනයක් නම් ඒ ගැන ඔහුත් සමග කතා කරන්න. ඇත්තටම ඔහුගේ මානසික පීඩනයට එය සහනයක් ගෙන දේවි.

තෙවන පියවර
ඔහුව පුදුම හා සතුටට පත්වන දේ කරන්න. ඇත්තටම එය විශාල දෙයක් නෙවෙයි. ඔබ කළ යුත්තේ ඔහු කැමතිම ආහාරයක් පිළියෙල කිරීම නැතිනම් කැමති දෙයක් තෑග්ගක් ලෙස දීම විය හැක. ඔහුට ඔබ කෙරෙහි ඇති ආදරය වැඩි වේවි.

හතරවන පියවර
ඔහුට නිදහසේ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. ඔහුගේ යහලුවන් සමග විනෝද වීමට, ඔහුගේ ප්‍රියතම විනෝදාංශය හෝ ක්‍රීඩාවේ නිරත වීමට ඉඩ දෙන්න. සෑම කෙනෙකුම තම නිදහස අගයන බව අමතක නොකරන්න.

පස්වන පියවර
දවස් කීපයකට සැරයක් ඔහු කැමතිම ආහාර පාන පිළියෙළ කරන්න. එය ඔහුගේ සතුටට හේතු වේවි. ඔබට ප්‍රශංසා කරාවි.

හයවන පියවර
ඔබ ඔහු කෙරේ දක්වන ආදරය ගැන නිරතුරුවම කතා කරන්න. ඔහුව අගයන්න. ඔබ විඩාවට පත්වී ඇති අවස්ථාවක වුවද ඔහු කෙරේ ඔබගේ නොසැලෙන ආදරය කියා පෑමට කාලය සොයාගන්න. ඔහුට ඔබ ගැන ඇත්තටම පුදුම ආදරයක් සිතේවි.

හත්වන පියවර
ඔහු උනන්දුව දක්වන දේ කෙරෙහි ඔබද උනන්දුවෙන් සහභාගී වෙන්න. ඔහුගේ කටයුතුවලට සහභාගී වීමට ප්‍රිය කරන අයෙකු වන්න. ඔහුත් සමග ක්‍රිකට් තරඟයක්, පාපන්දු තරඟයක් නරඹන්න. ඔබ අකැමති උනත් ඔබගේ ඒ කැප කිරීම ඔහුගේ සතුටට හේතු ගෙන දේවි.

ඉතාම සුලු ඔවදන් කිහිපයක් වුනත් මේවා ඔබේ යුග දිවියට ළඟා කර ගත්තොත් ඔබට ආදරණීය බිරිඳක් විය හැකි බව තේරුම් යාවි.

මල් දෙවැටෙන් ඔයාලව හමුවන්න එන්නෙ කාලෙකට පස්සෙ. අද මාතෘකාව ආදරය ගැන.

සිතුම් පැතුම් කොපමණ ගැලපුණත් කාලයක් ළඟින් ඇසුරු කළ ආදරවන්තයන්ටද පොරොන්දම් නොගැලපීම නිසා විවාහ වීමට නොහැකි වූ අවස්ථා කොතෙකුත් ඇත. එහෙත් බොහෝ විට දෙදෙනෙකු පෙමින් බැඳෙන්නේත්, ඇසුරු කරන්නේත් පොරොන්දම් බළලා නෙවෙයි.

නමුත් 100% ම පොරොන්දම් ගැලපී විවාහ වී ඉතා ටික කලකින් පවුල් ජීවිතය දෙදරා ගිය අවස්ථා මෙන්ම තනි කැමැත්තට කිසිම පොරොන්දමක් නොබලා විවාහ වී අති සාර්ථක පවුල් ජීවිත ගත කරන පිරිස්ද සමාජයේ ඉන්නවා.

පොරොන්දම් බැලීම කියන්නේ දෙදෙනෙක් විවාහ වන විට ඒ දෙදෙනාගේ කේන්දර අනුව පෞරුෂත්වය, රුචිකත්වය, අදහස් උදහස් ආදිය කොතෙක් දුරට ගැළපේද යන්න එක්තරා චක්‍රයකට අනුව බැලීමයි.

ජෙතිෂ්‍යට අනුව ඕනෑම කෙනෙක්ගේ පොරොන්දම් 20ක් තියෙනවා. මෙහි ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සියලු ගති ලක්ෂණ ඇතුළත්. පොරොන්දම් ගැලපීමේදී සිදුවන්නේ මෙම අයෙකුගේ ගති ලක්ෂණ අනෙක් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගති ලක්ෂණ හා කොතෙක් දුරට ගැළපේද යන්න විමසා බැලීමයි.

සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා පොරොන්දම් විස්සෙන් දහයකට වඩා ප්‍රමාණයක් ගැළපිය යුතුයි. මෙම ප්‍රමාණයට ප්‍රධාන වශයෙන් ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇතුලත්. ලග්න, රාශ්‍යාධිපති, නැකැත්, වශී, ගණ හා යෝනි පොරොන්දම, ඒ ප්‍රධාන පොරොන්දම් වර්ගයි.

වසර ගණනාවක් පෙම්වතුන් වශයෙන් ඇසුරු කිරීම නිසා දෙදෙනා තුලම හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන එකිනෙකා වෙනුවෙන් කැපවීමට හැකි ආකාරය තේරුම් ගන්නවා. අඩුපාඩු දුර්වලකම් මේ හැම දෙයක් ගැනම දෙදෙනා තුළ වැටහීමක් ඇති වෙනවා. පොරොන්දම් බැලීම යනුවෙන් දෙදෙනාගේ කේන්දර අනුව චක්‍රයක් ගොඩනගා ගනිමින් කරන්නේත් මේ දෙයමයි. නමුත් එයින් ලැබෙන විසඳුමට වඩා සියයට සියයක සාර්ථක ප්‍රතිඵලයක් දෙදෙනෙක් වසර ගනනාවක් ආදරයෙන් බැඳී සිටීමෙන් ඇති වෙනවා. විවාහ දිවියට අවශ්‍ය වන්නේත් එයම නේද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ. අද මල් දෙවැටෙන් කියන්න යන්නෙ තවත් කථාවක්. මේක ගුරුවරයෙක් ළමයෙක්ට ආදරයේ හා විවාහයේ අර්ථය තේරුම් කරපු හැටි කියවෙන කථාවක්. හැබැයි මේකෙ අර්ථය නම් අපි කාටත් පොදුයි.

ඔන්න දවසක් එක ළමයෙක් ගුරුවරයාගෙන් මෙහෙම අහනවා, “ටීචර්, ආදරය කියන්නෙ මොකක්ද?”
එතකොට ගුරුවරයා ළමයාට මෙහෙම උත්තරයක් දෙනවා. “ඔයාට ඕකට උත්තරයක් ඕනෙ නම් ඔයා ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරන් එන්න. ඒත් එක කොන්දේසියක් තියෙනවා. ඔයාට හේන හරහා යන්න පුලුවන් එක පාරයි.ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ.”
මේක අහපු ලමයා යනවා හේනට. මුල්ම තීරුවෙ ලොකු ඉරිඟු කරලක් දකිනවා. ඒත් ළමයා මෙහෙම හිතනවා. “ඉස්සරහට යනකොට තව ලොකු ඒවා තියෙයි.”
තවත් ඉස්සරහට යනකොට තව ලොකු ඒවා දකිනවා . ඒත් ළමයා හිතනවා ඊටත් වඩා ලොකු ඒවා හොයාගන්න පුලුවන් කියලා. කොහොමහරි හේනෙ භාගයකට වඩා ගියාට පස්සෙ එයාට හිතෙනවා කලින් දැකපු කරල් වලට වඩා දැන් කරල් පොඩියි කියලා. එයාට තේරුනාම එයාට ලොකුම කරල මගහැරුනා කියලා ළමයා ගොඩක් දුක් උනා. ඊට පස්සේ මේ ළමයා හිස් අතින්ම ගුරුවරයා ළඟට යනවා.
එතකොට ගුරුවරයා කියනවා, “ඔන්න ඕක තමයි ආදරය කියන්නේ. අපි ආදරයෙදිත් හැම වෙලේම හොදම දේ හොයනවා. ඒත් අපි හොයපු නියම කෙනා මඟහැරුන බව දැනගන්නකොට අපි පරක්කු වැඩියි.”
“හරි එහෙනම් විවාහය කියන්නෙ මොකක්ද?” ළමයා ආයෙත් අහනවා.
“ඔයාට මේකට උත්තරේ ඕනෙ නම් මං කියන දේ ආයෙත් කරන්න වෙනවා. ඔයා ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරන් එන්න. හැබැයි කොන්දේසිය ඉස්සර වගේමයි. ඔයාට හේන හරහා යන්න පුලුවන් එක පාරයි.ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ.” ගුරුවරයා කිව්වා.
ළමයා ආයෙත් යනවා ඉරිඟු හේනට. මේ පාර ළමයා හිතනවා කළින් කරපු වැරැද්ද ආයෙත් කරන්නෙ නෑ කියලා. හේනෙ මැදක් හරියට යනකොට ළමයා සාමාන්‍ය ප්‍රමාණයේ ඉරිඟු කරලක් අරන් ගුරුවරයා ගාවට එනවා.
එතකොට ගුරුවරයා කියනවා, “මේ පාර ඔයා ඉරිඟු කරලක් ගෙනාවා. ඔයා ගෙනාපු කරල ගොඩක් හොඳයි. මේ කරල ගේන්න ඔයාට අධිෂ්ඨානය හා විශ්වාසය තිබුනා. මේක තමයි ඔයාට ලැබුන හොඳම දේ. විවාහය කියන්නෙ මේකට තමයි.”
බලන්න ගුරුවරයා කොයිතරම් ලස්සනට මේ දෙක තේරුම් කරලා දුන්නද කියලා. උදාහරණයක් උනත් මේ කථාව ඇත්ත නේද?

විවාහ වෙන්න නම් කේන්දරේ බලන්න ඕනෙමද? සමහරු කියනවා කොයිතරම් කාලයක් යාලු වෙලා හිටියත් බඳින්න කලින් කේන්දර ගැලපෙනවද කියලා බලන්න ඕනෙ කියලා. බඳින්න කලින් කේන්දර බලන එක අවශ්‍යමද?

බඳින්නෙ ආදරය කරල නම් මගේ අදහස කේන්දර ගැලපෙන්න ඕනෙ නෑ කියලා. මොකද බඳින්න නම් දෙන්නගෙ අදහස් ගැලපෙන්න ඕනෙ. එකිනෙකා ගැන හොඳ විශ්වාසයක් තියෙනවනම්, අනිත් කෙනාගෙ කැමැත්ත අකමැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවනම් ඒ දෙන්නට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්.

කේන්දරය කියන සංකල්පය මෙතනට එන්න මූලිකම හේතුව විදිහට මම දකින්නෙ දෙමාපියන්ගෙ මැදහත් වීම. විවාහයේදී දෙමාපිය ආශිර්වාදය වැදගත්. ඒත් සමහර පවුල් ප්‍රශ්න වලට හේතුවත් ඔය කියන මැදහත් වීමම තමයි.

 කේන්දරය ගැලපෙනවා කියන්නෙ දෙන්නගෙ ජන්ම පත්‍ර වල තියෙන පොරොන්දම් 20 න් භාගයකට වඩා ගැලපෙනවා කියන එක. දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයට ග්‍රහයන්ගෙ බලපෑමක් තියෙන බව මං පිලිගත්තත් කේන්දරය කියන දේ විශ්වාස කරන්න මට හිතෙන්නෙම නෑනෙ. මම මෙහෙම කිව්වම ඔයාලා හිතනවා ඇති මගෙයි මගෙ කෙල්ලගෙයි කේන්දර ගැලපෙන්නෙ නැති නිසා මෙහෙම කියනවා ඇති කියලා. එහෙම නම් නෑ. අපෙ කේන්දර 80% ක්ම ගැලපෙනවා. 

 දැන් සල්ලි ගෙවලා කේන්දර බලන්න ඕනෙ නෑ. ඒවා නිකන්ම බලාගන්න පුලුවන් Software තියෙනවා. දෙන්නගෙ උපන් දිනයයි, වෙලාවයි, තැනයි දන්නවනම් ඔයාලටම මේක බලාගන්න පුලුවන්. ඔයාලගෙ පහසුවට මං ඒ Software එකත් මේකෙම දාන්නම්.

මේ ලෝකෙත් පුදුමයි. කේන්දර බලලා යාලු වෙන්න බෑනෙ. ඒ වගෙම කේන්දර නොගැලපුනා කියලා යාලු උන කෙනාව අත්හරින්නත් බෑ. 

කේන්දර බලන Software එක Download කරන්න මෙතන Click කරන්න.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට