ඔන්න ඉතින් කාලෙකට පස්සෙ. අද මල් දෙවැටෙන් කියන්න යන්නෙ තවත් කථාවක්. මේක ගුරුවරයෙක් ළමයෙක්ට ආදරයේ හා විවාහයේ අර්ථය තේරුම් කරපු හැටි කියවෙන කථාවක්. හැබැයි මේකෙ අර්ථය නම් අපි කාටත් පොදුයි.

ඔන්න දවසක් එක ළමයෙක් ගුරුවරයාගෙන් මෙහෙම අහනවා, ටීචර්, ආදරය කියන්නෙ මොකක්ද?
එතකොට ගුරුවරයා ළමයාට මෙහෙම උත්තරයක් දෙනවා. ඔයාට ඕකට උත්තරයක් ඕනෙ නම් ඔයා ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරන් එන්න. ඒත් එක කොන්දේසියක් තියෙනවා. ඔයාට හේන හරහා යන්න පුලුවන් එක පාරයි.ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ.
මේක අහපු ලමයා යනවා හේනට. මුල්ම තීරුවෙ ලොකු ඉරිඟු කරලක් දකිනවා. ඒත් ළමයා මෙහෙම හිතනවා. ඉස්සරහට යනකොට තව ලොකු ඒවා තියෙයි.
තවත් ඉස්සරහට යනකොට තව ලොකු ඒවා දකිනවා . ඒත් ළමයා හිතනවා ඊටත් වඩා ලොකු ඒවා හොයාගන්න පුලුවන් කියලා. කොහොමහරි හේනෙ භාගයකට වඩා ගියාට පස්සෙ එයාට හිතෙනවා කලින් දැකපු කරල් වලට වඩා දැන් කරල් පොඩියි කියලා. එයාට තේරුනාම එයාට ලොකුම කරල මගහැරුනා කියලා ළමයා ගොඩක් දුක් උනා. ඊට පස්සේ මේ ළමයා හිස් අතින්ම ගුරුවරයා ළඟට යනවා.
එතකොට ගුරුවරයා කියනවා, ඔන්න ඕක තමයි ආදරය කියන්නේ. අපි ආදරයෙදිත් හැම වෙලේම හොදම දේ හොයනවා. ඒත් අපි හොයපු නියම කෙනා මඟහැරුන බව දැනගන්නකොට අපි පරක්කු වැඩියි.
හරි එහෙනම් විවාහය කියන්නෙ මොකක්ද? ළමයා ආයෙත් අහනවා.
ඔයාට මේකට උත්තරේ ඕනෙ නම් මං කියන දේ ආයෙත් කරන්න වෙනවා. ඔයා ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරන් එන්න. හැබැයි කොන්දේසිය ඉස්සර වගේමයි. ඔයාට හේන හරහා යන්න පුලුවන් එක පාරයි.ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ. ගුරුවරයා කිව්වා.
ළමයා ආයෙත් යනවා ඉරිඟු හේනට. මේ පාර ළමයා හිතනවා කළින් කරපු වැරැද්ද ආයෙත් කරන්නෙ නෑ කියලා. හේනෙ මැදක් හරියට යනකොට ළමයා සාමාන්‍ය ප්‍රමාණයේ ඉරිඟු කරලක් අරන් ගුරුවරයා ගාවට එනවා.
එතකොට ගුරුවරයා කියනවා, මේ පාර ඔයා ඉරිඟු කරලක් ගෙනාවා. ඔයා ගෙනාපු කරල ගොඩක් හොඳයි. මේ කරල ගේන්න ඔයාට අධිෂ්ඨානය හා විශ්වාසය තිබුනා. මේක තමයි ඔයාට ලැබුන හොඳම දේ. විවාහය කියන්නෙ මේකට තමයි.
බලන්න ගුරුවරයා කොයිතරම් ලස්සනට මේ දෙක තේරුම් කරලා දුන්නද කියලා. උදාහරණයක් උනත් මේ කථාව ඇත්ත නේද?