ඔන්න මං දැන් ඔයාලට කතාවක් කියන්න යන්නේ. මට මීට ආසන්න වෙනත් කතාවක් අහන්න ලැබුනා Email එකකින්. ඒත් මං ඒක වෙනස් කරලා මේ වගෙ කතාවක් ලියන්න හිතුවෙ ආදරය කරනකොට පුංචි අතපසු වීමකින් මොන තරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා පෙන්නන්නයි.

ඔන්න එක වියට්නාම් සෙබලෙක් යුද්දෙ ඉවර කරලා ගෙදර එන්න හිතුවා. ඊට කලින් එයාට හිතුනා ගෙදර ඉන්න එයාගෙ බිරිඳට ඇමතුමක් දෙන්න.

“ඔයා හොඳින් නේද? ඔන්න මම ගෙදර එනවා. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මම මගේ යාලුවෙක්ව ගෙදර එක්කන් ආවට කමක් නැද්ද?”

“අනේ කමක් නෑ එක්කන් එන්න, මාත් ආසයි එයාව හම්බවෙන්න.”

“තවත් දෙයක් තියෙනවා ඔයාට කියන්න”, සෙබලා කිව්වා. “එයා සටනෙදී ගොඩක් තුවාල වෙලා ඉන්නෙ. යුද පිටියෙදි බිම් බෝම්බයක් පෑගිලා එයාගෙ අතකුයි, කකුලකුයි අයින් කරලා තියෙන්නෙ. එයාට වෙන යන්න තැනක් නෑ. ඒ නිසා මං හිතුවා එයාවත් අපිත් එක්කම තියාගන්න.”

“අනේ පව්, සමහර විට එයාට ඉන්න වෙන තැනක් හොයලා දෙන්න අපට පුලුවන් වෙයි.” සෙබලාගෙ බිරිඳ කිව්වා.

“නෑ, එයාව අපිත් එක්කම තියාගන්නයි මට ඕනෙ.” සෙබලා කිව්වා.

“අනේ රත්තරන්, ඔයා දන්නෙ නෑ ඔයා ඉල්ලන්නෙ මොකක්ද කියලා. ආබාධිත කෙනෙක් එනවා කියන්නෙ අපිට තවත් ලොකු බරක් එකතු වෙනවා කියන එකයි. අපිට අපේම කියලා ජීවිතයක් තියෙනවා. තව කෙනෙක්ට ඒකට ඇඟිලි ගහන්න දෙන්න බෑ. යාලුවව අමතක කරලා ඔයා විතරක් ගෙදර එන්න. එයා ජීවත් වෙන්න ක්රමයක් හොයා ගනීවි.” බ්රිඳ ටිකක් සැරෙන් කිව්වා.

ඒත් එක්කම ඇමතුම විසන්ධි උනා. ඊට පස්සෙ සෙබලා ගැන කිසිම ආරංචියක් නැති උනා. ටික දවසකට පස්සෙ ගෙදරට පොලීසියෙන් ඇමතුමක් ආවා. සෙබලා ගොඩනැගිල්ලකින් වැටිලා මැරිලා තිබුනා. පොලීසිය විශ්වාස කලේ ඒක සියදිවි හානි කරගැනීමක් හැටියට.

සෙබලාගේ බිරිඳ මේ ගැන ගොඩක් දුක් උනා. එයා සෙබලා සිටි තැනට ගිහින් සෙබලාගෙ මිනිය හඳුනා ගත්තා. ඒත් එක්කම එයා තවත් දෙයක් හදුනා ගත්තා.

ඒ තමයි ඇය පණ මෙන් ආදරය කරපු ඇයගෙ ආදරණීය සැමියාට තියෙන්නෙ එක් අතක් හා කකුලක් බව.