මල් දෙවැටෙන් ඔයාලව හමුවන්න එන්නෙ කාලෙකට පස්සෙ. අද මාතෘකාව ආදරය ගැන.

සිතුම් පැතුම් කොපමණ ගැලපුණත් කාලයක් ළඟින් ඇසුරු කළ ආදරවන්තයන්ටද පොරොන්දම් නොගැලපීම නිසා විවාහ වීමට නොහැකි වූ අවස්ථා කොතෙකුත් ඇත. එහෙත් බොහෝ විට දෙදෙනෙකු පෙමින් බැඳෙන්නේත්, ඇසුරු කරන්නේත් පොරොන්දම් බළලා නෙවෙයි.

නමුත් 100% ම පොරොන්දම් ගැලපී විවාහ වී ඉතා ටික කලකින් පවුල් ජීවිතය දෙදරා ගිය අවස්ථා මෙන්ම තනි කැමැත්තට කිසිම පොරොන්දමක් නොබලා විවාහ වී අති සාර්ථක පවුල් ජීවිත ගත කරන පිරිස්ද සමාජයේ ඉන්නවා.

පොරොන්දම් බැලීම කියන්නේ දෙදෙනෙක් විවාහ වන විට ඒ දෙදෙනාගේ කේන්දර අනුව පෞරුෂත්වය, රුචිකත්වය, අදහස් උදහස් ආදිය කොතෙක් දුරට ගැළපේද යන්න එක්තරා චක්‍රයකට අනුව බැලීමයි.

ජෙතිෂ්‍යට අනුව ඕනෑම කෙනෙක්ගේ පොරොන්දම් 20ක් තියෙනවා. මෙහි ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සියලු ගති ලක්ෂණ ඇතුළත්. පොරොන්දම් ගැලපීමේදී සිදුවන්නේ මෙම අයෙකුගේ ගති ලක්ෂණ අනෙක් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගති ලක්ෂණ හා කොතෙක් දුරට ගැළපේද යන්න විමසා බැලීමයි.

සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා පොරොන්දම් විස්සෙන් දහයකට වඩා ප්‍රමාණයක් ගැළපිය යුතුයි. මෙම ප්‍රමාණයට ප්‍රධාන වශයෙන් ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇතුලත්. ලග්න, රාශ්‍යාධිපති, නැකැත්, වශී, ගණ හා යෝනි පොරොන්දම, ඒ ප්‍රධාන පොරොන්දම් වර්ගයි.

වසර ගණනාවක් පෙම්වතුන් වශයෙන් ඇසුරු කිරීම නිසා දෙදෙනා තුලම හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන එකිනෙකා වෙනුවෙන් කැපවීමට හැකි ආකාරය තේරුම් ගන්නවා. අඩුපාඩු දුර්වලකම් මේ හැම දෙයක් ගැනම දෙදෙනා තුළ වැටහීමක් ඇති වෙනවා. පොරොන්දම් බැලීම යනුවෙන් දෙදෙනාගේ කේන්දර අනුව චක්‍රයක් ගොඩනගා ගනිමින් කරන්නේත් මේ දෙයමයි. නමුත් එයින් ලැබෙන විසඳුමට වඩා සියයට සියයක සාර්ථක ප්‍රතිලයක් දෙදෙනෙක් වසර ගනනාවක් ආදරයෙන් බැඳී සිටීමෙන් ඇති වෙනවා. විවාහ දිවියට අශ්‍ය වන්නේත් එයම නේද?