අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ තවත් කථාවක් ගැන. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නෙ අපේ මල් දෙවැටත් එක්ක එකතු වෙලා ඉන්න ආදරයෙන් බැදිලා ඉන්න අපේ යුවල් වලට. ඒත් ඉතින් තනිකඩ අපේ යාලුවන්ටත් මේකෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කලින්ම කියන්න ඕනෙ මේක සත්‍ය කතාවක් බව. එහෙනම් අපි කතාව කියවමුකෝ.

මේ කතාව පටන් ගන්නේ Jocelyn (ජොසලින්) හා William (විලියම්) යන දෙදෙනාගේ විවාහ උත්සවයෙන්. මේ දෙදෙනාගේ විවාහ උත්සවය අවසානයේ ජොසලින්ගේ අම්මා එයාට $ 1000 ක් තැන්පත් කරලා අලුතින්ම විවෘත කරපු බැංකු පාස් පොතක් දීලා ජොසලින්ට මෙහෙම කිව්වා.

ජොසලින් මේ බැංකු පාස් පොත ගන්න. මේක ඔයාලගෙ විවාහයේ සටහනක් විදිහට තියාගන්න. ඔයාලගෙ අලුත් ජීවිතයේ මොකක්හරි සතුටුදායක හෝ මතක හිටින දෙයක් උනොත් මේකට සල්ලි කීයක් හරි දාන්න. දාලා සතුටට හේතුව මොකක්ද කියලා මේකෙ පැත්තකින් ලියන්න. වැඩියෙන් සතුටුදායක හෝ මතක හිටින දෙයක් උනොත් වැඩියෙන් සල්ලි දාන්න. මුල්ම තැන්පතුව මම දැම්මා. ඔයා මේක විලියමුත් එක්ක කරගෙන යන්න. කාලයක් යනකොට මේක බලලා ඔයාලට පුලුවන් ඔයාලා කොයිතරම් සතුටින් හිටියද කියලා බලාගන්න.

ජොසලින් මේ අදහස විලියම් එක්ක බෙදාගත්තා. දෙන්නම හිතුවා මේක ගොඩක් හොඳ අදහසක් කියලා. එයාලා අලුත් ගෙදරකට ගියා. මේ දෙන්නා ගොඩක් උනන්දුවෙන් හිටියේ මොකක්ද එයාලගෙ දෙවන තැන්පතුව කියලා බලාගන්න.

ටික දවසක් ගියාම මේ විදිහේ දෙයක් තමයි දැකගන්න පුලුවන් උනේ. මෙයාලගේ බැංකු පාස් පොතේ මුල් පිටුවේ සාරාංශයක් මං මෙහෙම දාන්නම්.

  • Feb 07 - $ 100  : විවාහ උත්සවයෙන් පසු විලියම්ගේ මුල්ම උපන්දින සැමරුම
  • Mar 04 - $ 300  : ජොසලින්ගේ වැටුප් වැඩිවීම
  • Mar 20 - $ 200  : බාලි දූපතට ගිය විනෝද චාරිකාව
  • Apr 16 - $ 2,000  : ජොසලින් ගර්භනී වීම
  • Jun 01 - $ 1,000  : විලියම්ට රැකියාවේ උසස් වීමක් ලැබීම

…………………….. ආදී සටහන් රැසක් තිබුණා.

කොහොමහරි අවුරුදු ගණනාවකට පස්සේ එයාලා සුලු දේකට පවා රණ්ඩු උනා. එකිනෙකාව විවේචනය කරන්න උනා. වැඩිපුර කතා කළෙත් නෑ. එයාලා බැන්දේ ලෝකෙ ඉන්න නරකම සහකාරයව කියලා හිතලා එයාලා කණගාටු උනා. කිසිම ආදරයක සේයාවක්වත් තිබුනෙ නෑ.

දවසක් ජොසලින් එයාගෙ අම්මට දුරකතනයෙන් කතා කරලා මෙහෙම කිව්වා. අම්මෙ අපිට තවදුරටත් එකට ඉන්න බෑ. අපි දික්කසාද වෙන්න තීරණය කලා. මට හිතාගන්න බෑ ඇයි මං මේ මිනිහව බඳින්න තීරණය කළේ කියලා.

එතකොට අම්මා මෙහෙම කිව්වා, ඇත්ත කෙල්ලෙ, ඒකෙ ඇති වරදක් නෑ. තවදුරටත් ඔයාලට එකට ඉන්න බැරි නම් ඔයාට හිතෙන දෙයක් කරන්න. ඔක්කොටම කලින් එක දෙයක් කරන්න. මතකද මං ඔයාලට විවාහ දවසේ බැංකු පාස් පොතක් දුන්නා. ඒකෙ තියෙන ඔක්කොම සල්ලි අරන් වියදම් කරන්න. වගේ කාලකණ්නි විවාහයක සටහන් තවදුරටත් තියාගන්න එපා.

ජොසලින්ට එයාගෙ අම්මගෙ කථාව ඇත්ත නේද කියලා හිතුනා. එයා බැංකුවට ගියේ ගිණුම අවලංගු කරලා සල්ලි ගන්න කියලා හිතාගෙන. ගිහින් පෝලිමේ ඉන්න ගමන් නිකමට පොත ඇරලා බැලුවා. ඒක බලනකොට එයාලගෙ විවාහයේ පරණ සතුටුදායක මතකයන් එකිනෙක මැවෙන්න ගත්තා. ඇගේ ඇස් කඳුලු වලින් පිරුණා. එයා ආයෙත් ගෙදර ගියා. ගෙදර ගියාම බැංකු පොත විලියම්ට දීලා දික්කසාදෙට කලින් සල්ලි ඔක්කොම වියදම් කරන්න කියලා කිව්වා.

ඊළඟ දවසෙ විලියම් බැංකු පාස් පොත ජොසලින්ට ආයෙත් දුන්නා. ජොසලින් සල්ලි අරන්ද බලන්න ඒක ඇරලා බැලුවා. බලනකොට ඒකෙ $ 5,000 අලුත් තැන්පතුවක් තිබුණා. ඒකෙ පැත්තකින් මෙහෙම තිබුණා.

අද තමයි මං දැනගත්තෙ මේ අවුරුදු කීපයට මං ඔයාට මොනතරම් ආදරය කරලා තියෙනවද කියලා. ඔයා මට මොනතරම් සතුටක් ගෙනවිත් දීලද?

පාස් පොත පැත්තකින් තියලා එයාල බදාගෙන අඬන්න ගත්තා. මං දන්නෙ නෑ එයාලා කොයිතරම් සල්ලි එකතු කරලද කියලා. ඒත් මම හිතන්නෙ වැදගත් වෙන්නෙ සල්ලි නෙවෙයි, එයාලා මේ අවුරුදු කීපයේ මොනතරම් සතුටින් හිටියද කියන එකයි.

අන්තිමට මං මල් දෙවැටෙන් මෙන්න මේ අවවාදය දෙනවා. ඔයාල වැටෙනකොට වැටුනෙ කොතනින්ද කියලා බලන්න එපා, වෙනුවට ඔයාව ලිස්සුවෙ කොතනින්ද කියලා බලන්න. මොකද ජීවිතය කියන්නෙ වැරදි හදාගෙන ජීවත්වෙන එකයි.