අද මට හිතුනා මල් දෙවැටට අලුත් ලිපි කාණ්ඩයක් එක් කරන්න ඕනේ කියලා. මේ කාණ්ඬයෙන් මං බලාපොරොත්තු වෙන්නේ හාස්‍ය රසයෙන් පිරුණ ආදරයට ඒත් ආදරය හා ජීවිත අත්දැකීම් ගැන විස්තර කෙරෙන ලිපි කිහිපයක් ඔයාලට ගෙන එන්න.

අද ඉදිරිපත් කරන්නේ කවියක්. මේකෙන් කියවෙන්නේ තරුණ කාලේ ආදරය ගැන කුතුහලයෙන් පිරුණු ළමයෙක් එයාගේ අම්මගෙන් ඒ ගැන විමසන අයුරුයි. ඔන්න හැබැයි මේ කවිය නම් මං හදපු කවියක් නෙවෙයි. කියවලම බලන්නකෝ.

මොනවද අම්මේ අකුරු ජාතියක්
අක්කගේ කොපි කොළ වල ලියලා
කවුරුද අම්මේ ඒවා ලියන්නේ
ආදරයෙන් අමතමි කියලා

පුතා දන්නේ නෑ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දී
බැරි අය කොපි කොළ වල ලියති

එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැහැ මොකවත් තේරෙන්නේ
තැපෑලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරුද ඒවා ගෙන යන්නේ

පාසල් යනකොට ආපසු එනකකොට
මග තොටදියි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ

අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොළ ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේවා කෙරෙන බව
එහි ගුරුවරු නැතිවද දන්නේ

නැත මගෙ සූකිරි පුංචි පුතේ නැහැ
කවුරුත් ඔහොමයි තරුණ වියේ
ගුරුවරු නිතරම සෙව්වත් ඔය ගැන
ඕවා කෙරෙන්නේ හොර රහසේ