අද මල් දෙවැටෙ මාතෘකාව තමයි අපි කොහොමද වෙනස් විදිහට හිතන්නෙ කියන එකයි. මේක කතන්දරයක්. කියවලම බලන්නකො.

ඔන්න දරුණු ලෙස අසනීප උන මිනිසුන් දෙදෙනෙක් ඉස්පිරිතාලෙ එකම කාමරයක හිටියා. මෙතනින් එක මිනිසෙක්ට පෙනහලු වලින් දියර පෙරීම සඳහා පැයක් පමණ ඉඳගෙන සිටීමට සිදු වුනා. ඔහුගෙ ඇඳ තිබුනෙ කාමරේ තිබුන එකම ජනේලය ළඟ. අනිත් මිනිසාට සිදු උනේ මුලු දවසම ඇදේ නිදාගෙනෙ සිටීමටයි.
මේ දෙදෙනා හඳුනාගෙන එයාලාගෙ පවුල්, ගෙවල්, රැකියාවල්, හමුදාවෙ අත්දැකීම් ආදිය ගැන කතා කරන්න ගත්තා. හැම දවාලකම ජනේලය ළඟ සිටි කෙනා ඇදේ ඉඳගෙන පිටත සිදුවන දේ ගැන අනෙකාට මෙහෙම විස්තර කරනවා.
ජනේලෙන් පිටත තියෙන්නෙ කලපුවක් සහිත උද්‍යානයක්. තාරාවෝ සහ හංසයෝ පීනා යනවා. කුඩා ළමයි ඒකේ බෝට්ටු හදලා පා කරනවා. තරුණ පෙම්වතුන් අත් අල්ලාගෙන මල් ගස් අතරින් ඇවිද යනවා. ඇඳේ සිටි කෙනාට නැගී සිටීමට නොහැකි නිසා ඒ පිළිබඳ ච්ත්ත රූප මවා ගත්තා.
එක් දිනක් දවාලේ පොඩි පෙරහැරක් ගියා. ඇඳේ සිටි කෙනාට බෙර හඬ අහුනෙ නැතත් ඔහු අනෙකාගේ වචන වලින් අලංකාර චිත්‍රයක් මවා ගත්තා. මෙහෙම දින, සති, මාස ගෙවී ගියා.
දිනක් උදෑසන සාත්තු සේවිකාව ඔවුන්ව නාවන්න වතුර ගෙන එන විට ඇයට හමු උනේ ජනේලය ළඟ සිටි කෙනාගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි. ඔහු නිදි යහනේදීම මිය ගොස් තිබුණා. ඇයත් ගොඩක් දුක් උනා. රෝහල් සේවකයින්ට සිරුර රැගෙන යන ලෙස ඇය දැන්වුවා.
ජනේලය අසල සිටි මිනිසා මැරුණු පසු, ජනේලය ළඟ ඇඳට මාරු වීමට අනෙකා හෙදියගෙන් ඇසුවා. ඈ සෙමින් හා පරෙස්සමින් ඔහුව ඒ ඇඳ වෙත රැගෙන ගියා. ජනේලයට පිටතින් තිබුනේ වැසුණු බිත්තියක්. ඔහු හෙදියට ඔහුගේ මියැදුනු සගයා විස්තර කළ අලංකාර උද්‍යානය ගැන කීවා.
හෙදිය සිනා සී මෙසේ කීවා. එයාට උද්‍යානයක් තියා මේ බිත්තියවත් පේන්නේ නෑ. මොකද එයා අන්ධ කෙනෙක්. සමහර විට එයා එසේ කියන්න ඇත්තේ ඔයාගේ මනස සැහල්ලු කරන්න වෙන්නැති.
මේ කතාවන් අපේ මල් දෙවැටෙ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි අන් අයව සතුටු කිරීම තුළින් තමන්ටත් අධ්‍යාත්මික සතුටක් ලබන්න පුලුවන් කියන එකයි. දුක බෙදා ගැනීම තුළින් දුක අඩකින් අඩු වෙනවා කියලා කතාවක් තියෙනවනෙ. ඒ වගේම තමයි සතුට බෙදාගත්තම ඒ සතුට දෙගුණ වෙනවා.