ඔන්න අදත් ඔයාලට මල් දෙවැටෙන් උපදේශාත්මක කතාවක් කියන්නයි යන්නේ. මේක කියවලම බලන්නකෝ. මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ශ්‍රී ලාංකික වෙබ් අඩවියකින් උපුටා ගත්තක් නොවන වග. මොකද අපේ මල් දෙවැටේ යාලුවෙක් පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුනා ඒක ප්‍රසිද්ධ අඩවියකින් උපුටා ගැනීමක් කියලා. මල් දෙවැටේ තියෙන කතා පරිවර්ථන කිරීම්. ඒ හැර කිසිම උපුටා ගැනීමක් කර නොමැති බවට මං ඒ ලිපියේ සාක්ෂ්‍ය සහිතව ප්‍රතිචාර දක්වලා තියෙනවා.


අපි අද කතාව කියවමුකෝ. ඔන්න එක යුවලක් විවාහ වෙලා අවුරුදු 11 කට පසුව ඒ දෙපලට ළමයෙක් ලැබුනා. එයාලා ඒ අවුරුදු 11 අතුලත ගොඩක් ආදරයෙන් ජීවත් උනා වගේම මේ ළමයා එයාලගේ ඇස් වගේ උනා. මේ ළමයාට අවුරුදු 2 විතර වුන කාලෙක දවසක් උදේ මේ සැමියා වැඩට යනකොට දැක්කා මූඩිය ඇරපු බෙහෙත් බෝතලයක්. වැඩට යන්න ඒ වෙනකොටත් පරක්කු වෙලා තිබුන නිසා ඔහු බිරිඳට කිව්වා ඒකේ මූඩිය වහලා රාක්කයෙන් තියන්න කියලා. ඒත් කුස්සියේ වැඩක හිටිය බිරිඳට මේක එහෙමම අමතක වෙලා ගියා.

මේ පුංචි ළමයා දැක්කා මේ බෝතලේ. අතට අරන් බැලුවම ලස්සන පාට පාට බෙහෙත් පෙති දැකලා ඒ ඔක්කොම කටේ දාගත්තා. මේක ටිකක් සැර බෙහෙතක්. වැඩිහිටියන්ට පවා නියම කරලා තිබුනේ ඉතා කුඩා මාත්‍රාවක්.  ළමයා වැටිලා වේදනාවෙන් කෑ ගහනකොට මේ බිරිඳ ළමයව රෝහලට අරන් ගියා. ඒත් ළමයගේ ජීවිතය බේරගන්න බැරි උනා. මේ ආරංචියෙන් මේ බිරිඳ ගල් ගැසුනා. ඇය බිය වුනා කොහොමද තම සැමියට මුහුණ දෙන්නේ කියලා.

ළමයා අසනීපයෙන් බව දැනගත්තු මේ සැමියා ඉක්මනටම රෝහල වෙත ආවත් ඔහුට දකින්නට ලැබුනේ ඇඳක් මත මිය ගොස් සිටින විවාහයෙන් අවුරුදු 11 කට පසු ලැබුණු ඔවුන්ගේ එකම ළමයාවයි. ඔහු බිරිඳ දෙස බලා වචන හතරක් සෙමෙන් මිමිනුවා.

අපේ මල් දෙවැටේ යාලුවෝ දන්නවද ඒ වචන හතර මොකක්ද කියලා?

ඔහු කිව්වේ, “මම ඔයාට ආදරෙයි රත්තරන්” කියලා.

අපේ යාලුවෝ බලයි මේ සැමියට පිස්සු හැදිලද කියලා. නෑ. මේ සැමියාගේ නොසිතපු ප්‍රතිචාරය හුදෙක්ම ඉදිරිය ගැන සිතා කල හැසිරීමක්. දැන් ළමයා මැරිලා. තම බිරිඳට වැරැද්ද පැටෙව්වා කියලා සිදුවුනු දේ නැවත හරිගස්සන්නත් බැහැ. ඔහු බෝතලේ වහලා පැත්තකින් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. ඇයටත් නැති උනේ ඇගේ එකම ළමයා. මේ වෙලාවේ ඇයට අවශ්‍ය සැන්සීමක්. මේ සැමියා ඇයට දුන්නෙත් ඒකමයි.

සමහර වෙලාවට අපට වරදක් උනාම කවුද මේකට වග කියන්න ඕනේ, කාටද බනින්න ඕනේ කියලා හිත හිත කල් ගෙවනවා. අපි ආදරය කරන කෙනෙක්ට සමාව දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේද? ඒත් දැන් තවකෙකුට සහයෝගය දෙනවා වෙනුවට අපේ මිනිසුන්ට මිනිසත්කම කියන එකත් අමතක වෙලා.

අපේ මල් දෙවැටෙ යාලුවෝ ගන්න ඕන ආදර්ශය මේකයි. තමන් ළඟ තියෙන දේ රැකගන්න. සමාව දෙන එක නවත්තලා දුක, තරහ, වේදනාව වැඩි කරගන්න එපා. ඔයාලා කාටහරි මේ ප්‍රශ්න දිහා වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන්න පුලුවන් නම්, මේ ලෝකෙ ප්‍රශ්න කියන දේ අඩු වේවි. ඔයාල ළඟ තියෙන තරහ, ඊර්ෂයාව, සමාව දීමට අකැමත්ත, ආත්මාර්ථකාමී බව, බය වගේ දේවල් නැති කරගත්තොත්, ඔයාලට එන ප්‍රශ්න වලට මුහුණ දෙන එක ඇත්තටම අමාරු දෙයක් නොවන බව ඔයාලටම වැටහේවි.