ගොඩක් කාලෙකට පස්සේ තමයි අද මල් දෙවැටත් එක්ක එකතු වෙන්න ලැබුනේ. ඔන්න අද මම කියන්න යන්නේ පොඩි ආදර කතාවක්. හැබැයි මේකට ආදරය කියලා කියන්න නම් බෑ. මොකද ඇත්ත ආදර කතාවකට මෙහෙම වෙන්න බැරි නිසා. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට තේරෙයි.

ඔන්න එක අන්ධ ගැහුණු ළමයෙක් ඇයට නොපෙනෙන අවට ලොව ගැන තරහින් හා පසුතැවිල්ලෙන් හිටියා. ඇයට ගොඩක් යාලුවෝ හිටියෙත් නෑ. ඒත් ඇයට හදවතින්ම ආදරය කරපු කෙනෙක් හිටියා. ඇය ඔහුට හැම වෙලාවකම කිව්වේ ඇයට පෙනීම තිබුණා නම් ඔහුවම විවාහ කරගන්නවා කියලා. මොකද කියනවනම් ඔහුගේ ආදරය ඇයට හොඳටම දැනුනා.

ඔහොම ඉන්නකොට කෙනෙක් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කළා. ඔන්න ඇයට පුලුවන් උනා මෙතෙක් දවසක් ආදරය කළ ඒ ප්‍රේමවන්තයාව දැක බලා ගන්න. පුදුමයකට වගේ ඔහුත් අන්ධයි.

ඇයට පෙනීම තියෙන නිසා ඔහු ආයෙත් ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා. “ඔයාට දැන් පේනවනේ. අපි බඳිමුද?”

ඇය ඔහුට මෙහෙම කිව්වා. “බැඳලා අපි මොනවා කරන්නද? මට පෙනීම තියෙනවා. අපි කවදාවත් සතුටින් ඉන්න එකක් නෑ. ඒ නිසා ඒක කවදාවත් වෙන්නේ නෑ. මට සමාවෙන්න.”

ඇස් දෙකේ කදුළු පුරවාගෙන් ඔහු ඈ සමග සිනා සුනා. ඔහු අවසන් වශයෙන් මෙසේ කීවා. “කමක් නෑ මට ඔයාව තේරුම් ගන්න පුලුවන්. මට හැමදාමත් ඕන උනේ ඔයාව සතුටින් තියන්න. ඔයා පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මගේ ඇස් දෙකත් පරිස්සමින් බලා ගන්න.

ඔන්න ඕක තමයි අද කතාව. ඇත්තටම අද සමාජයේ ඇත්තටම ආදරය කරන අය කී දෙනාද ඉන්නේ. සැප සම්පත් ලැබෙනකොට වෙනස් වන ආදරයක් කවදාවත් සත්‍ය ආදරයක් වෙන්නේ නෑ.

මම මෙහෙම කිව්වට අපේ සහෝදරියෝ තරහ වෙන එකක් නෑ කියල මම හිතනවා. අපේ ගැහැණු පාර්ශවයේ වැඩි පිරිසක් ආදරය කරන්න පෙළඹෙන්නේ ඔහුගේ ගතිගුණ වලට නෙවෙයි. ඔහුගේ වත්පොහොසත්කම් වලට.

තමන්ගේ පෙම්වතාට වඩා පොහොසත් කෙනෙක් දැක්කම ආදරයත් අමතක වන පෙම්වතියන් අද බහුලයි. මම මෙහෙම කියන්නේ මගේ යෙහෙලියෝ කීප දෙනෙක්ම තමන් වසර ගනනාවක් පවත්වන ආපු ආදරය පිරිමියෙක්ගේ වත් පොහොසත්කම් ඉදිරියේ දියකර හැරීමට තරම් කුහක උන නිසා. ඒ වගේම ගැහැණිය සෙල්ලම් බඩුවක් කර ගත් පිරිමි පාර්ශවයත් නැතුවම නොවෙයි.

කොහොම උනත් ආදරය කියන දෙය කවදාවත් වත් පොහොසත්කම වලින් මනින්න බැරි බව අපේ මල් දෙවැටේ යාලුවෝ මතක තියාගත්තොත් හොඳයි.