මල් දෙවැට එක්ක එකතු උන අපේ යාලුවන්ට අද කියවන්න ලැබෙන්නේ ආදර කතාවක්. අපේ තරුණ යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි. කියවලාම බලන්නකෝ.
ඔන්න එක තරුණ පෙම්වතුන් යුවලක් හිටියා. මුල ඉඳලම මේ දෙන්නාගේ සම්බන්ධයට ගැහැණු ළමයාගේ ගෙදරින් විරුද්ධ උනා. ඒකට හේතුව උනේ පිරිමි ළමයාගේ පවුල් පසුබිමයි. මේ දෙන්නා විවාහ උනොත් තමන්ගේ දුවට මුලු ජීවිතේම දුක් විඳින්න වෙයි කියලයි මේ දෙමව්පියන් හිතුවේ.
දෙමව්පියන්ගෙන් එල්ල උන පීඩනය නිසාම මේ  දෙන්නා අතර නිතරම රණ්ඩු ඇති උනා. මේ හැම වෙලාවකදිම මේ ගැහණු ළමයා අහන එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි, “ඔයා මට කොච්චර ආදරේද?” කියන එක.
මේ පෙම්වතා කතාවේ එතරම් දක්ෂයකු නොවන නිසා මේක හරියට තේරුම් කරන්න බැරි උනා. මේ ගැන මේ ගැහැණු ළමයා කණස්සල්ලෙන් පසු වුනේ. පවුලේ පීඩනයත් එක්ක හැම වෙලාවෙම ඈ තරහා පිටකලේ පිරිමි ළමයාගේ පිටින්. ඒත් ඔහු නිහඬවම මේ තරහාවන් ඉවසා දරා ගත්තා.
අවුරුදු කීපයකට පස්සේ මේ පෙම්වතාට උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න  සිදුවුනා. ඒ යන්න කළින් ඔහු තම පෙම්වතියට මෙහෙම කිව්වා. “මං කතා කරන්න ඒ තරම් දක්ෂයෙක් නෙවෙයි. ඒත් මම එක දෙයක් දන්නවා. ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඔයා අවසර දෙනවා නම් මං ඔයාව මගේ ජීවිත කාලය පුරාවටම බලා ගන්නම්. ඔයාගේ දෙමව්පියන්ට මං මට පුලුවන් විදිහට කතා කරන්නම්. ඔයා මාව බඳිනවද?”
මේ පෙම්වතිය කැමති උනා. කොහොමහරි අවසානයේදී මේ  ගැහැණු ළමයාගේ ගෙදරින් කැමැත්තත් ලැබුණා. රට යන්න කලින් මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා.
මෙහෙම කාලය ගත උනා. අමාරුවෙන් උනත් මේ දෙන්නා Email හා දුරකතන ඇමතුම් මගින් මේ දෙන්නාගේ සම්බන්ධය ගෙන ගියා.
එක් දවසක් මේ ගැහැණු ළමයා වැඩට යනකොට ඇයව පාරේ යන වාහනයක් හප්පගෙන ගියා. සිහිය එන්කොට ඈ හිටියේ රෝහලේ ඇඳක් උඩ. දෙමව්පියන් ඇගේ දෙපසින් සිටියා. ඈ තේරුම්ගත්තා ඇයට හුඟක් තුවාල වෙලා කියලා. ඇගේ මව අඬනකොට ඇයව සනසන්න මේ ගැහැණු ළමයාට සිතුනා. ඈ කතා කරන්න උත්සහ කළත් ඇයගේ හඬ ගොලු වෙලා.
දොස්තරවරු කිව්වේ මොළයට සිදුවුනු කම්පනය නිසා ඇගේ හඬ අහිමිව ඇති බවයි. රෝහලේ හිටපු විදිහටම ඈ ගෙදරදිත් නිහඬවම හැඬුවා. දුරකතනය නිතරම නාද උනා. ඒ හැම විටම ඈට දැනුනේ හදවතට කටුවකින් අනින තරම් වේදනාවක්. ඇය නිසා ඔහුගේ ජීවිතයත් විනාශ නොකිරීමට ඈ ඉටා ගත්තා. අවසානයේ ඈ ඔහුට මෙසේ ලියුමක් ලිව්වා.
“මට තවත් බලන් ඉන්න බෑ. මං ගැන තවදුරටත් බලාපොරොත්තු තියන් ඉන්න එපා.”
මේ ලිපියත් එක්ක ඈ විවාහ ගිවිස ගත් මුද්දත් යැව්වා. ඔහුගෙන් දහස් ගනන් පිළිතුරු ලිපි, දුරකතන ඇමතුම් ආවත් ඇයට කළ හැකි එකම දේ උනේ නිහඬව හැඬීම පමණයි.
මේ හැම දෙයක් ගැනම අමතක වෙන්න කියා සිතූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ පදිංචියත් වෙනස් කලා.
අලුත් පරිසරයට මේ ගැහැණු ළමයා හැඩ ගැහුණා. ඈ ගොලු භාෂාවත් ඉගෙන ගත්තා. ඈ ටිකෙන් ටික ඔහුගේ මතකයන් අමතක කරන්න උත්සහ කළා. එක් දිනක් ඇගේ යාලුවෙක් ඇයට ආරංචියක් ගෙනාවා. ඒ ඇගේ පෙම්වතා ආයෙත් තම රටට ඇවිත් කියන ආරංචිය. ඇය යාලුවාට කිව්වා ඈට සිදු වුන කිසිවක් ඔහුට දැනගන්න තියන්න එපා කියලා. කල් යනවිට ඔහු ගැන කිසිම ආරංචියක් නැති උනා.
අවුරුද්දකට  පසු ඇගේ යාලුවා ලියුමක් රැගෙන ආවා. ඒකේ තිබුනෙ ඔහුගේ විවාහයට ආරාධනා පතක්. ඈ ගල් ගැහුණා. සැලෙන හදින් ආරාධනා පත විවෘත කළා. ඒත් පුදුමයකට වගේ ඒකේ තිබුනේ ඇගේ නම.
මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියා අහන්න ඈ ඇගේ යාලුවා දිහා බලනකොට ඇගේ පෙම්වතා ඈ ඉදිරියෙන් සිටගෙන් හිටියා. ඔහු සංඥා භාෂාව යොදාගෙන මෙසේ කීවා. “මං මේ අවුරුද්දම ගෙව්වේ ගොලු භාෂාව ඉගෙන ගන්න. මං ඔයාට මතක් කරන්න කැමතියි මං මගේ පොරොන්දුව අමතක කලේ නැති බව. මට ඔයාගේ කටහඬ වෙන්න තව එක අවස්ථාවක් දෙන්න. මං ඔයාට ආදරෙයි.”
ඒත් එක්කම ඔහු ඇඟේ වෙදැඟිල්ලට මුදුව දැම්මා. අවසානයේ ඈ සිනාසුනා.
ඔන්න ඕක තමයි අද දවසේ මල් දෙවැටේ ආදර කතාව. ඔයාලගේ අදහස් මේ මල් දෙවැට Blog අඩවියට ගොඩක් වටිනවා. ආයෙත් හමුවෙන තෙක් මල් දෙවැටෙන් සමුගන්නම්.

ඔන්න අද මම මල් දෙවැටෙන් ඔයාලව වෙනම මාවතකට ගෙන යනවා. මේක අපි කතා කරපු මාතෘකා වලින් ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. මේකෙන් කියවෙන්නේ තරුණ පෙම්වතුන්ගේ අසහනය ගැන.

හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක මං ලියපු කවි පෙළක් නෙවෙයි. මට මේක ලැබුනේ යාලුවෙක් එවපු Email එකක් මාර්ගයෙන්. මේ කවි පෙළ පළ කරපු මුල් කතෘ ගැන දන්නේ නැතත් ඔහුට මල් දෙවැටෙන් අපේ ගෞරවය පුද කරනවා. ඔයාලත් මේක කියවලම බලන්නකෝ.

මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!


"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"


සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී


ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ


නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

කොහොමද කවිය? එක අතකට මේ කවියෙත් ඇත්තක් තියෙනවා නේද? මේ ගැන අදහස් දැක්වීම අපේ තරුණ පෙම්වතුන්ට භාරයි.

ඔන්න එක පෙම්වතුන් දෙපලක් කතාකරගත්ත විදිහට හමුවුණා. මේ දෙන්නා ඔන්න යතුරු පැදියකින් ගමන් කරනවා. ඒත් හෙල්මටයක් පැළඳ සිටින්නේ නම් මේ පෙම්වතා විතරයි. මොකද මේ ගමන හදිසියේ යොදා ගත් ගමනක් නිසා එක හෙල්මටයක් විතරයි ගෙනත් තියෙන්නේ.


මේ පෙම්වතා එක්වරම යතුරු පැදියෙ වේගය වැඩිකරනවා. මේ වෙනකොට යතුරුපැදියෙ වේගය පැයට කිලෝමීටර 100 ක් විතර. එතකොට බයවෙච්ච මේ පෙම්වතිය මෙහෙම කියනවා.

පෙම්වතිය : අනේ හෙමින් යන්නකෝ. මට බයයි.
පෙම්වතා : නෑ මෙහෙම ගියාම හුඟක් විනෝදයි.
පෙම්වතිය : නෑ නෑ. මේක භයානකයි.
පෙම්වතා : හරි. එහෙනම් මට ආදරෙයි කියන්න. එතකොට හිමින් යන්නම්.
පෙම්වතිය : හා. ඔන්න මම ඔයාට ගොඩක් ආදරෙයි. දැන්වත් හිමින් යන්නකෝ.
පෙම්වතා : ඒ විතරක් මදි. මාව හයියෙන් බදාගන්න.
(පෙම්වතිය පෙම්වතාව වැළඳ ගනී.)
පෙම්වතා : හා දැන් මේ හෙල්මට් එක මගේ ඔලුවෙන් ගලවලා ඔයා දාගන්න. මේක මං දාගෙන ඉන්නකොට අපහසුයි. මේක ඔයා දාගත්තම මං හිමින් යන්නම්.

ඔන්න ඊළඟ දවසේ පත්තරේ මෙහෙම ශිර්ෂ පාඨයක් තියෙනවා.

“වේගයෙන් ධාවනය කළ යතුරු පැදියක් අසල වූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අයෙක් මරුට. අනතුරට හේතුව තිරිංග නොමැති වීම බව සොයාගැනේ.”

මේ සිදුවීමේ සත්‍ය කතාව තමයි ටික දුරක් ගමන් කරනකොට මේ පෙම්වතාට තේරුනා යතුරු පැදියේ තිරිංග (බ්‍රේක්) නොමැති බව. ඒත් ඔහු මේ බව තමන්ගේ පෙම්වතියට දැනගන්න ඉඩ හැරියේ නෑ. ඒ වෙනුවට අවසන් වතාවට ඔහු තම පෙම්වතිය ලවා තමන්ට ආදරෙයි කියවා ගත්තා. අවසන් වරට තම පෙම්වතියගේ තුරුලේ උණුසුම වින්දා. තමන් මැරුනත් තමන්ගේ ආදරය ජීවත් වෙයි කියලා හිතලා ඔහුගේ හෙල්මටය අවසානයේදී තමන්ගේ පෙම්වතියට දුන්නා. මේකට නේද සත්‍ය ආදරය කියන්නේ?

මේ කතාවෙන් අපේ යාලුවො ගන්න ඕන එක ආදර්ශයක් තමයි යතුරු පැදියකින් ගමන් කරනකොට අපි හෙල්මට් පැළඳිය යුත්තේ පොලීසියෙන් බේරීමට නොව තමන්ගෙම ආරක්ෂාවට කියන එක.


ඔන්න කාලෙකට පස්සේ තමයි අද මල් දෙවැටෙන් ඔයාලව හමුවන්නේ. අද මට හිතුනා මල් දෙවැටෙන් හාස්‍ය රැඳි යමක් ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. ඔයාලා ආදර ලිපි ලියලා ඇතිනේ. ඒත් මේක ෛවර ලිපියක්. 
ඔන්න එක ආදරවන්තයෙක් තමන්ගේ පෙම්වතීට ආදර ලිපියක් ලිව්වා. ඒත් ඒක පෙම්වතියගෙ තාත්තාට අහු උනා. තාත්තා මේ සම්බන්ධයට විරුද්ධ උනා. මේ සම්බන්ධය නවතා දමන ලෙස ඇයට තර්ජනය කළා. මේක දැනගත්තු මේ ආදරවන්තයා ඇයට තවත් ලියුමක් ලීවා. මේ ලියුමත් ඇයගේ තාත්තාට හසු උනා.
මෙන්න මේකයි ඔහු ලියපු ලියුම.
“ ඔයා වෙනුවෙන් මගේ හිතේ තිබුණු ඒ අමිල ආදරය
තව දුරටත් නැහැ. දැන් මගේ හිතේ ඔයාට තියෙන අකැමත්ත
හැමදාකම තව තවත් වැඩෙනවා. මම ඔයාව දකිනකොට
මොනතරම් කැත මූණක්ද කියලා හිතෙනවා. ඒක නිසා
මට කරන්න හිතුන තවත් දෙයක් තමයි
අනිත් ලස්සන කෙල්ලො දිහා බලන එක. මට කවදාවත් හිතුනෙ නෑ
ඔයාව ඉක්මනට බඳින්න ඕනෙ කියලා. අපේ අන්තිමට කතාකරපු ඒවා
මොන තරම් කම්මැලිද. ඒ වගේම මට කවදාවත්ම ඕනෙ වෙන්නෙ නෑ
ආයෙත් ඔයාව දකින්න හේතුවක්.
ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි.
අපි බැන්ඳොත් මම දන්නවා මට ලැබෙයි
නරකාදියක්. මට ලැබෙන්නේ නෑ කිසිම
ලොකු සතුටක් ඔයත් එක්ක ඉඳලා. මට තියෙනවා හදවතක්
කාටහරි දෙන්න. ඒත් මගේ කිසිම සූදානමක් නෑ ඒක
ඔයාටම දෙන්න. ඔයා හැරෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ
ඔයා තරම් ආත්මාර්ථකාමී වගේම මෝඩ. ඔයාට කවදාවත් බෑ
මට උදව් කරන්නවත් මාව බලාගන්නවත්.
ඔයා අවංකවම තේරුම් ගන්නවනම් හොඳයි මේ දේ.
මම කියන්නේ ඇත්ත. ලොකු උදව්වක් ඔයාට පුලුවන්නම්
මේක ඉවරයි කියලා හිතාගන්න. ඔයා උත්සහ කරන්න එපා
මේකට පිලිතුරු ලිපියක් ලියන්න. ඔයාගේ ලියුම්වල පිරිලා තියෙන්නේ
කිසිම වැඩකට නැති පල් හෑලි. ඔයාට පොඩ්ඩක්වත් නෑ
මං වෙනුවෙන්ම සත්‍ය ආදරයක්. සමුගන්නම්... ! විශ්වාස කරන්න
මට තවත් ඔයාව ඕනේ නෑ. කරුණාකරලා හිතන්න එපා
මම තවමත් ඔයාගෙම ආදරවන්තයා කියලා.”

මොකද ඔයාලා හිතන්නේ. මේ පෙම්වතා මේ ලියුම තමන්ගේ පෙම්වතියට ලැබෙන්කොට කියලා තිබුනා මෙහෙම දෙයක්. ඒක තමයි ලියුම කියවනකොට පේලියක් ඇර පේලියක් කියවන්න කියලා. ඒ කියන්නේ 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21, 23, 25 කියන පේලි කියවන්න කියලා.

ඔයාලා මේක ආයේ කියවලා බලන්නකෝ මේකෙ අදහස. අපේ මල් දෙවැටෙ යාලුවෝ මොකද හිතන්නේ මේ තාත්තයි, දුවයි දෙන්නා මේ ලියුමෙන් තේරුම් ගත්ත දේවල් ගැන? 

ඔන්න අදත් ඔයාලට මල් දෙවැටෙන් උපදේශාත්මක කතාවක් කියන්නයි යන්නේ. මේක කියවලම බලන්නකෝ. මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ශ්‍රී ලාංකික වෙබ් අඩවියකින් උපුටා ගත්තක් නොවන වග. මොකද අපේ මල් දෙවැටේ යාලුවෙක් පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුනා ඒක ප්‍රසිද්ධ අඩවියකින් උපුටා ගැනීමක් කියලා. මල් දෙවැටේ තියෙන කතා පරිවර්ථන කිරීම්. ඒ හැර කිසිම උපුටා ගැනීමක් කර නොමැති බවට මං ඒ ලිපියේ සාක්ෂ්‍ය සහිතව ප්‍රතිචාර දක්වලා තියෙනවා.


අපි අද කතාව කියවමුකෝ. ඔන්න එක යුවලක් විවාහ වෙලා අවුරුදු 11 කට පසුව ඒ දෙපලට ළමයෙක් ලැබුනා. එයාලා ඒ අවුරුදු 11 අතුලත ගොඩක් ආදරයෙන් ජීවත් උනා වගේම මේ ළමයා එයාලගේ ඇස් වගේ උනා. මේ ළමයාට අවුරුදු 2 විතර වුන කාලෙක දවසක් උදේ මේ සැමියා වැඩට යනකොට දැක්කා මූඩිය ඇරපු බෙහෙත් බෝතලයක්. වැඩට යන්න ඒ වෙනකොටත් පරක්කු වෙලා තිබුන නිසා ඔහු බිරිඳට කිව්වා ඒකේ මූඩිය වහලා රාක්කයෙන් තියන්න කියලා. ඒත් කුස්සියේ වැඩක හිටිය බිරිඳට මේක එහෙමම අමතක වෙලා ගියා.

මේ පුංචි ළමයා දැක්කා මේ බෝතලේ. අතට අරන් බැලුවම ලස්සන පාට පාට බෙහෙත් පෙති දැකලා ඒ ඔක්කොම කටේ දාගත්තා. මේක ටිකක් සැර බෙහෙතක්. වැඩිහිටියන්ට පවා නියම කරලා තිබුනේ ඉතා කුඩා මාත්‍රාවක්.  ළමයා වැටිලා වේදනාවෙන් කෑ ගහනකොට මේ බිරිඳ ළමයව රෝහලට අරන් ගියා. ඒත් ළමයගේ ජීවිතය බේරගන්න බැරි උනා. මේ ආරංචියෙන් මේ බිරිඳ ගල් ගැසුනා. ඇය බිය වුනා කොහොමද තම සැමියට මුහුණ දෙන්නේ කියලා.

ළමයා අසනීපයෙන් බව දැනගත්තු මේ සැමියා ඉක්මනටම රෝහල වෙත ආවත් ඔහුට දකින්නට ලැබුනේ ඇඳක් මත මිය ගොස් සිටින විවාහයෙන් අවුරුදු 11 කට පසු ලැබුණු ඔවුන්ගේ එකම ළමයාවයි. ඔහු බිරිඳ දෙස බලා වචන හතරක් සෙමෙන් මිමිනුවා.

අපේ මල් දෙවැටේ යාලුවෝ දන්නවද ඒ වචන හතර මොකක්ද කියලා?

ඔහු කිව්වේ, “මම ඔයාට ආදරෙයි රත්තරන්” කියලා.

අපේ යාලුවෝ බලයි මේ සැමියට පිස්සු හැදිලද කියලා. නෑ. මේ සැමියාගේ නොසිතපු ප්‍රතිචාරය හුදෙක්ම ඉදිරිය ගැන සිතා කල හැසිරීමක්. දැන් ළමයා මැරිලා. තම බිරිඳට වැරැද්ද පැටෙව්වා කියලා සිදුවුනු දේ නැවත හරිගස්සන්නත් බැහැ. ඔහු බෝතලේ වහලා පැත්තකින් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. ඇයටත් නැති උනේ ඇගේ එකම ළමයා. මේ වෙලාවේ ඇයට අවශ්‍ය සැන්සීමක්. මේ සැමියා ඇයට දුන්නෙත් ඒකමයි.

සමහර වෙලාවට අපට වරදක් උනාම කවුද මේකට වග කියන්න ඕනේ, කාටද බනින්න ඕනේ කියලා හිත හිත කල් ගෙවනවා. අපි ආදරය කරන කෙනෙක්ට සමාව දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේද? ඒත් දැන් තවකෙකුට සහයෝගය දෙනවා වෙනුවට අපේ මිනිසුන්ට මිනිසත්කම කියන එකත් අමතක වෙලා.

අපේ මල් දෙවැටෙ යාලුවෝ ගන්න ඕන ආදර්ශය මේකයි. තමන් ළඟ තියෙන දේ රැකගන්න. සමාව දෙන එක නවත්තලා දුක, තරහ, වේදනාව වැඩි කරගන්න එපා. ඔයාලා කාටහරි මේ ප්‍රශ්න දිහා වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන්න පුලුවන් නම්, මේ ලෝකෙ ප්‍රශ්න කියන දේ අඩු වේවි. ඔයාල ළඟ තියෙන තරහ, ඊර්ෂයාව, සමාව දීමට අකැමත්ත, ආත්මාර්ථකාමී බව, බය වගේ දේවල් නැති කරගත්තොත්, ඔයාලට එන ප්‍රශ්න වලට මුහුණ දෙන එක ඇත්තටම අමාරු දෙයක් නොවන බව ඔයාලටම වැටහේවි.

ඔන්න කාලෙකට පස්සේ අදත් මං මල් දෙවැටෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නෙ තවත් ආදර කතාවක් ගැන කියන්න. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ මල් දෙවැටේ තමන්ගේ ආදරේ කියාගන්න බැරිව තනිකඩව ඉන්න යහලු යෙහෙලියන්ටයි. මං එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට තේරෙයි මේක කියෙව්වම.


මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් රෑ මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.

ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.
ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.
ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.
ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් කරමුද?
ඩැනියෙල් : මොන විදිහේ සෙල්ලමක්ද?
ජෙස්මින් : මම දවස් 30කට මම ඔයාගේ පෙම්වතිය වෙන්නම්, ඔයා මගේ පෙම්වතා වෙන්න.
ඩැනියෙල් : හොඳ අදහස. මටත් ලබන මාසෙම වගේ වැඩි වැඩක් නෑ.

ඔන්න ඔහොම කතා වෙලා මේ දෙන්නා එදා එකිනෙකාගෙන් සමු ගත්තා.

1 වන දිනය
එයාලා මුල්ම වතාවට එකතු වෙලා ආදරය තේමා උන චිත්‍රපටයක් රස වින්දා.

4 වන දිනය
මුහුදු වෙරළට චාරිකාවක් ගියා. දවසම මුහුදු වෙරලේ සතුටින් ගත කලා.

12 වන දිනය
සර්කස් සංදර්ශනයක් බලන්න යන්න ඩැනියෙල් ජෙස්මින්ට ආරාධනා කලා. එහි තිබුණු හොල්මන් ගුහාවකදී බය උනු ජෙස්මින් වැරදීමකින් ඩැනියෙල් කියා සිතා වෙනත් අයෙකුගේ අත අල්ලා තිබුනා. මේ සිදුවීම මතක් කරමින් මේ දෙන්නා ඇති තරම් විනෝද වුනා.

15 වන දිනය
මේ දෙන්නා පාරේ සාස්තර කියමින් යන කෙනෙක් හමු උනා. මෙයාලත් නිකමට වගේ සාස්තරයක් ඇහුවා. “දරුවනි, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. දෙන්නා එකතු වෙලා පුලුවන් තරම් සතුටින් ඉන්න බලන්න.” සාස්තර කරු කීවේ නොදැනීම ඔහුගේ ඇසට කඳුලක් නංවමින්.

20 වන දිනය
කඳුකර පෙදෙසක සවාරියක් යාමට ජෙස්මින් ඩැනියෙල්ට ආරාධනා කලා. ඒ ගමනේදී කඩා වැටෙන තරුවක් ජෙස්මින්ට දකින්න ලැබුනා. ඈ ඒ දෙස බලාගෙන තමාටම යමක් මුමුනා ගත්තා.

28 වන දිනය
මේ දෙන්නා කැඩුණු පාරක බස් රථයකින් ගමන් කරමින් හිටියා. එකවරම හදිසි ගැස්සීමක් නිසා අත්වැරදීමකින් ජෙස්මින් ඩැනියෙල්ට මුල්ම හාදුව දුන්නා.

29 වන දිනය
වේලාව පස්වරු 11.37
දැන් මේ දෙන්නා මේ ආදර සෙල්ලම පටන් ගත්ත උද්‍යානයේ ගසක් යට වාඩිවෙලා ඉන්නවා.
ඩැනියෙල් : මට හරිම මහන්සියි ජෙස්මින්. මං පාරට ගිහින් ඔයාටත් එක්ක බොන්න මොනවා හරි ගේන්නද?
ජෙස්මින් : හා. මට ඇපල් ජූස් එකක් තිබුනාම හොඳටම ඇති.
ඩැනියෙල් : හරි. මං එනකම් ඔහොම ඉන්නකෝ.

(විනාඩි 20කට පසුව) අමුත්තෙක් ජෙස්මින් ළඟට එනවා.
අමුත්තා : ඔයා ඩැනියෙල්ගේ යාලුවෙක්ද?
ජෙස්මින් : ඔව්. ඇයි?
අමුත්තා : බීපු මිනිහෙක් ඩැනියෙල්ව හප්පගෙන ගිහින්. දැන් එයා ඉස්පිරිතාලේ.

වේලාව පස්වරු 11.57
හදිසි අනතුරු අංශයේ සිට එලියට පැමිණි දොස්තර මෙහෙමෙ කියලා ජෙස්මින් වෙත ඇපල් ජූස් බෝතලයක් හා ලියුමක් දුන්නා. “අපිට ඩැනියෙල්ගේ සාක්කුවේ තිබිලා මේක හම්බුණා.”

ජෙස්මින් ලියුම කියවන්න ගත්තා. ඒකෙ තිබුනේ මෙහෙමයි.

“ජෙස්මින්, පසුගිය කාලේ මට තේරුණා ඔයා මොන තරම් සුන්දර කෙල්ලෙක්ද කියලා සහ මම ඔයාට කැමතියි කියලා. මේ සෙල්ලම කරද්දී මම දැකපු ඔයාගේ හුරතල් හිනාව වගේම හැම දේකටම මම කැමතියි. මේ සෙල්ලම ඉවර වෙන්න කලින් ඔයා ජීවිත කාලයටම මගේ පෙම්වතී වෙනවා නම් මම කැමතියි.
මම ඔයාට ගොඩක් ආදරෙයි ජෙස්මින්…!”

ජෙස්මින් ඒ ලියුම ගුලි කරලා මෙහෙම කෑගැහුවා.
“අනේ ඩැනියෙල් මට ඔයාව නැති කරගන්න බෑ. මමත් ඔයාට ආදරෙයි. ඔයාට මතකද අපි උල්කාපාතයක් දැකපු රෑ මම දෙයක් මිමිනුවා… මං ඒ මිමිනුවේ මේ සෙල්ලම කවදාවත් ඉවර නොවී හැමදාටම තියෙන්න කියලයි. අනේ මාව දාලා යන්න එපා… මං ඔයාට ආදරෙයි. මේ පාර ඔයාට බෑ මට එහෙම දෙයක් කරන්න…”

ඒ වෙද්දිම හරියට රෑ 12 උනා. එහෙමම ඩැනියෙල්ගේ හද ගැස්මත් නැවතුනා…

ඒ වෙද්දි හරියටම සෙල්ලමට දින 30 යි.

ටිකක් දිග, ලස්සන ඒත් දුක්බර ආදර කතාවක් නේද යාලුවනේ? මේකෙන් අපේ මල් දෙවැටෙ යාලුවො ගන්න ඕන ආදර්ශය තමයි තමන්ගේ හිතේ තියෙන ආදරයක් අඟවන්න පරක්කු වෙන්න හොඳ නැති බව. මොකද කියනවනම් කාලය අපි හිතනවට වඩා කෙටියි. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුලුවන්.

මේ සටහන ඔයාලගේ Facebook හා Twitter යාලුවන් සමග බෙදාගෙන අපේ පාඨකයන් පිරිස වැඩිකර ගැනීමට සහය වන්න.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට