ඔන්න මල් දෙවැටෙන් අද කියලා දෙන්න යන්නේ උපදේශාත්මක කතාවක්. මේක ටිකක් විතර අමුතු කතාවක්. ඒත් කියවලාම බලන්නකෝ. සමහරු නම් මේ කතාව අහලත් ඇති.


ඔන්න එක පොඩි ළමයෙක් හිටියලු ගොඩක් කේන්ති යන. මේ ළමයාට කොච්චර අවවාද කළත් එයා ඒ කේන්තිය නැති කරගන්න උත්සහා කළේ නෑ. ඔන්න මේ ගැන කල්පනා කරපු ඒ ළමයාගේ තාත්තා මෙහෙම දෙයක් කළා.


මේ පියා ඒ ළමයාට ඇණ බාල්දියක් දීලා මෙහෙම අවවාදයක් දුන්නා. "ඔයාට කේන්ති යන හැම අවස්ථාවකම මිටියක් අරන් මේ වැටට ඇණයක් ගහන්න." ඔන්න ඕක තමයි අවවාදය.

ඔන්න මුල්ම දවසේ මේ ළමයා වැටට ඇණ 37 ක් ගහලා තිබුණා. ඔහොම යනකොට ඊළඟ සති දෙකේ ඔහු කේන්තිය ටිකක් පාලනය කරගෙන තිබූණා. ඔහොම් ටිකෙන් ටික ඔහු තමන්ගේ කේන්තිය පාලනය කරගත්තා. මෙහෙම කරනකොට ඔහුට තේරුණා වැටට ඇණ ගහනවට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක ලේසියි කියලා



ඔහොම කාලය ගත වෙනකොට ඔහුට තේරුණා ඔහුට තවදුරටත් ඉක්මනින් කේන්ති නොයන බව. මේ බව ඔහු තම පියාට සතුටින් කිව්වා. ඉතින් මේ තාත්තා ඔහුට තවත් අවවාදයක් දුන්නා. ඒ තමයි මේ ළමයා කේන්තිය පාලනය කරගන්න හැම දවසකටම එක ඇණය බැගින් ගලවන්න කියන එක.


ඔහොම ටික දවසක් යන්කොට ඔහුට පුලුවන් උනා මේ වැටේ ඔහු කේන්තියෙන් ගහපු හැම ඇණයක්ම ගලවලා දාන්න. මේ බව ඔහු තම පියාට සැල කළා. පියා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ සමගම මෙහෙම දයක් කිව්වා.


"පුතා මට ඔයා ගැන ආඩම්බරයි. ඒත් පුතා වැටේ තියෙන සිදුරු ටික බලන්න. මේ වැට කවදාවත් ආයෙත් තිබුණ තත්වෙට එන්නෙ නෑ. ඒ වගේ තමයි ඔයා කේන්තියෙන් මොකක් හරි දෙයක් කිව්වම අනිත් අයගේ හිත් වලත් මේ වගේ සිදුරු ඇති වෙනවා. ඔයාට පුලුවන් කාට හරි පිහියෙන් ඇණලා සමාව ඉල්ලන්න. ඒත් ඒ තුවාලේ පැල්ලම ජීවිත කාලෙටම තියෙනවා."


මෙන්න මේ වගේ අපි වචනෙන් කරන තුවාලයක් සමහර විට ශාරීරික තුවාලයකට වඩා වේදනා දෙන්න පුලුවන්. ඒ නිසා අපේ මල් දෙවැටේ යාලුවෝ හිතට ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ වචන භාවිතයේදී අන් අයගේ හිත නොරිදන් විදිහට වචන පාවිච්චි කළ යුතු බව.

ආදරය හා ජීවිතය තේමා කරගත් මේ මල් දෙවැට වියුණුවට අදට හරියටම අවුරුද්දයි. මේ ලිපියෙන් කියවෙන්නේ මේ වසර තුළ මල් දෙවැටේ සිදුවූ විශේෂිත දේ ගැනයි. ඒත් එක්කම මේ ආදරවන්තයිගේ මාසය වෙනුවෙන් මල් දෙවැටෙන් විශේෂ ලිපි කීපයක් පළ කරන්නත් බලාපොරොත්තු වෙනවා.


මල් දෙවැටේ සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක්


සමස්ථ පිටු නැරඹුම් - 8717
පැමිණි පාඨකයෝ - 3214
පාඨකයන් පැමිණි රටවල් - 40
වඩාත්ම ජනප්‍රිය ලිපිය - අපිට ගැළපෙන ගැහැණු ළමයා සොයා ගන්නේ කෙසේද?
Google Follow අනුගාමිකයන් - 53
Face Book Fan පිටුවෙන් එකතු වන්නන් - 288
Face Book Fan පිටුව අනුව වඩාත් ජනප්‍රිය වයස් කාණ්ඩය - 18 ත් 24 ත් අතර
Alexa වෙබ් අඩවියට අනුව මල් දෙවැට සිටින ස්ථානය - 3,559,417


මේ වසර තුළ ආ ප්‍රතිචාර, විවේවන සියල්ලටම බොහොම ස්තුතියි. කාර්‍යබහුල උනත් ප්‍රතිචාර වැඩිවෙන තරමට තමයි තව තවත් ලිපි ලියන්න හිතෙන්නේ. මල් දෙවැට වෙනුවෙන් පළමු ප්‍රතිචාරය එක් කළ චතුරංග රූපසිංහ සහෝදරයාවත් ආදරෙන් මතක් කරනවා.


මේ වෙන තෙක් මල් දෙවැට සමගින් රැඳී සිටිමින් මා දිරිමත් කළ සැමට ගොඩක් ස්තුතියි.

බොහොම කාලෙකින් තමයි ඔයාලව හමුවීමට ආවේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියන්න යන්නේ රැකියා ජීවිතයට සාර්ථකත්වය ළඟා කරගන්න අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කීපයක්. මට මේක ආවේ Email එකකින්. මං ඒක සිංහලයට පරිවර්ථනය කළා. කියවලාම බලන්නකෝ.

අන් අය සමග සිටින විට අසුභවාදී කතා කියන්න එපා. ඒ වගේම ඕපාදූප කතා කරන්නත් එපා. එවිට අන් අයගේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය පලුදු වේවි.

ඔබගේ බලයට අභියෝගයක් වන අයෙක් සමඟ නිතරම වැඩ කරන්න. එලෙස ඔබ අවුරුද්දක් තුළ ඉගෙන ගන්නා දේ, ඔබ පාසලක අවුරුදු 4ක් ඉගෙන ගන්නා දේට වඩා වැදගත් වේවි.

සාර්ථක ස්වාමියකු තුළ හැමවිටම හොඳ සන්නිවේදනයක් තිබේ. ඔවුන් තමන් ළඟ වැඩකරන සේවකයන් තුලින් පවා ඉගෙන ගනී.

ඔබට තිබෙන රැකියාවට ගැලපෙන පරිදි නොව ඔබට අවශ්‍ය කරන රැකියාවට ගැලපෙන පරිදි අදින්න. ඔබගේ ඇඳුම තුළින් වෘත්තීය භාවය පිළිබිඹු වීමට ඉඩ දෙන්න.

බොරු නොකියන්න. ඔබගේ වැරදි වලට සමාවදීමය ස්වාමියාට හැකියි. ඒත් බොරු කීමෙන් ඔබට රැකියාවත් අහිමි වීමට පුලුවන් බව මතක තබා ගන්න.

වේලාවට පැමිණීමට සිහි තබාගන්න. හැකි නම් විනාඩි කීපයකට කලින් පැමිණෙන්න. එවිට ඔබට ආතතිය පාලනය කර ගැනීමට හැකිවේවි.

හැමවැඩකටම නිමා කිරීමට දිනයක් යොදාගන්න. වේලාවට නිමාකිරීමට නොහැකි නම් කල් තබා තවත් කාලය ඉල්ලා ගන්න.

අන් අයගේ විවේචන තම පෞද්ගලිකත්වයට ඈඳා ගන්න එපා. හැම විටකම තම උපරිමය දීමට උත්සහ කරන්න. ඔබට කෙනෙකුව විවේචනය කිරීමට අවශ්‍ය නම් ඔහු හා එම විවේචනය පෞද්ගලිකව කරන්න. අන් අය ඉදිරියේ කෙනෙකුව විවේචනය කරන්න යන්න එපා.

හැමදාම ස්වල්ප මොහොතක් තනිවම ගත කරන්න. තමන්ගේ අරමූණු, එය ළඟා කරගන්නේ කෙසේද යන්න ගැන හිතන්න. හැමවිටම සැලසුම් දෙකක් සිහි තබා ගන්න. එකක් වැරදුනොත් අනෙත් සැලැස්ම ක්‍රියාවට නංවන්න.

ඔන්න ඔය ටික තමයි ඒකේ තිබුනේ. රැකියා ස්ථානයේ සාර්ථකත්වයට මේ ටික බොහෝ දුරට බලපාවී. කොහොම උනත් රැකියාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ කෙරෙහි ඇති කැපවීම හා ආලය නිසා බව අපේ මල් දෙවැටේ යාලුවෝ සිහිතබා ගන්න.

ගොඩක් කාලෙකට පස්සේ තමයි අද මල් දෙවැටත් එක්ක එකතු වෙන්න ලැබුනේ. ඔන්න අද මම කියන්න යන්නේ පොඩි ආදර කතාවක්. හැබැයි මේකට ආදරය කියලා කියන්න නම් බෑ. මොකද ඇත්ත ආදර කතාවකට මෙහෙම වෙන්න බැරි නිසා. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට තේරෙයි.

ඔන්න එක අන්ධ ගැහුණු ළමයෙක් ඇයට නොපෙනෙන අවට ලොව ගැන තරහින් හා පසුතැවිල්ලෙන් හිටියා. ඇයට ගොඩක් යාලුවෝ හිටියෙත් නෑ. ඒත් ඇයට හදවතින්ම ආදරය කරපු කෙනෙක් හිටියා. ඇය ඔහුට හැම වෙලාවකම කිව්වේ ඇයට පෙනීම තිබුණා නම් ඔහුවම විවාහ කරගන්නවා කියලා. මොකද කියනවනම් ඔහුගේ ආදරය ඇයට හොඳටම දැනුනා.

ඔහොම ඉන්නකොට කෙනෙක් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කළා. ඔන්න ඇයට පුලුවන් උනා මෙතෙක් දවසක් ආදරය කළ ඒ ප්‍රේමවන්තයාව දැක බලා ගන්න. පුදුමයකට වගේ ඔහුත් අන්ධයි.

ඇයට පෙනීම තියෙන නිසා ඔහු ආයෙත් ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා. “ඔයාට දැන් පේනවනේ. අපි බඳිමුද?”

ඇය ඔහුට මෙහෙම කිව්වා. “බැඳලා අපි මොනවා කරන්නද? මට පෙනීම තියෙනවා. අපි කවදාවත් සතුටින් ඉන්න එකක් නෑ. ඒ නිසා ඒක කවදාවත් වෙන්නේ නෑ. මට සමාවෙන්න.”

ඇස් දෙකේ කදුළු පුරවාගෙන් ඔහු ඈ සමග සිනා සුනා. ඔහු අවසන් වශයෙන් මෙසේ කීවා. “කමක් නෑ මට ඔයාව තේරුම් ගන්න පුලුවන්. මට හැමදාමත් ඕන උනේ ඔයාව සතුටින් තියන්න. ඔයා පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මගේ ඇස් දෙකත් පරිස්සමින් බලා ගන්න.”

ඔන්න ඕක තමයි අද කතාව. ඇත්තටම අද සමාජයේ ඇත්තටම ආදරය කරන අය කී දෙනාද ඉන්නේ. සැප සම්පත් ලැබෙනකොට වෙනස් වන ආදරයක් කවදාවත් සත්‍ය ආදරයක් වෙන්නේ නෑ.

මම මෙහෙම කිව්වට අපේ සහෝදරියෝ තරහ වෙන එකක් නෑ කියල මම හිතනවා. අපේ ගැහැණු පාර්ශවයේ වැඩි පිරිසක් ආදරය කරන්න පෙළඹෙන්නේ ඔහුගේ ගතිගුණ වලට නෙවෙයි. ඔහුගේ වත්පොහොසත්කම් වලට.

තමන්ගේ පෙම්වතාට වඩා පොහොසත් කෙනෙක් දැක්කම ආදරයත් අමතක වන පෙම්වතියන් අද බහුලයි. මම මෙහෙම කියන්නේ මගේ යෙහෙලියෝ කීප දෙනෙක්ම තමන් වසර ගනනාවක් පවත්වන ආපු ආදරය පිරිමියෙක්ගේ වත් පොහොසත්කම් ඉදිරියේ දියකර හැරීමට තරම් කුහක උන නිසා. ඒ වගේම ගැහැණිය සෙල්ලම් බඩුවක් කර ගත් පිරිමි පාර්ශවයත් නැතුවම නොවෙයි.

කොහොම උනත් ආදරය කියන දෙය කවදාවත් වත් පොහොසත්කම වලින් මනින්න බැරි බව අපේ මල් දෙවැටේ යාලුවෝ මතක තියාගත්තොත් හොඳයි.

සමහරවිට අද ඔයාලා මල් දෙවැට එක්ක එකතු වෙන්න ඇත්තේ වෙනදා වගේ කතාවක් අහන්න වෙන්න ඇති. ඒත් අද මම මල් දෙවැට මගින් මගේ ආදරය ගැන පොඩි සැමරුමක් කරන්න යන්නේ. ඒක නිසා මුලින්ම අපේ මල් දෙවැටේ යාලුවෝ ඒ ගැන මට සමා වෙන්න ඕනේ.

මේ වෙනකන් ඔයාලත් එක්ක හිටපු මට මේ වියුණුව කරගෙන යන්න ගොඩක්ම දිරිමත් කලේ මගේ පුංචි පෙම්වතියයි. අද අපේ ආදරයට අවුරුදු දෙකයි. මේ අවුරුදු දෙක පුරාවටම ඇයත් එක්ක ගෙවුණු කාලය බොහොම සුන්දරයි. ඒ කාලය ඇතුළත පොඩි පොඩි ප්‍රශ්න ඇති නොවුනාම නොවෙයි. ඒත් ඒ හැම ප්‍රශ්නයක්ම කතා කරලා හිත් රිදවීම් ඇති නොවෙන විදිහට විසඳා ගන්න අපි දෙන්නම උනන්දු උනා.

දහසක් ළඳුන් දුටුවත් පවතින තුරු දිවිය...
නුඹයි එකම ළඳ මගෙ සිත ඇදී ගිය...
නොදනිමි කිමද නූඹ හට සිත ඇලී ගිය...
තවමත් සොයමි කිමද නුඹටම සිත බැඳී ගිය...


ඇගේ අත ගෙන අපේ ආදරය තවත් අවුරුදු කිහිපයක් ඇතුළත විවාහයෙන් සමරන එක තමයි අපි දෙන්නගේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ නිසා අද මල් දෙවැටෙන් මේ ලිපිය මගේ ආදරණීය සුදු නංගියා වෙනුවෙන් ම හද පිරි සෙනෙහසින් පළ කරනවා.

සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අද පාඩමත් ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. මේකත් ආදර්ශමත් කෙටි කතාවක්. අපේ මල් දෙවැටේ සමහර යාලුවෝ මේක අහලත් ඇති.

ඔන්න එක කාන්තාවක් තමන්ට නියමිත ගුවන් යානය එනකන් ගුවන් තොටුපලේ විවේකාගාරයට වී ඉන්නවා. ඒත් ඇයගේ ගුවන් යානය එන්න තව බොහෝ වේලා ඇති නිසා ඈට සිතෙනවා ඒ වෙනකන් පොතක් අරගෙන කියවන්න. ඉතින් මේ කාන්තාව පොතක් මිලදී ගන්නවා. ඒත් එක්කම බිස්කට් පැකට් එකකුත් මිලදී ගන්නවා.

ඇය විවේකාගාරයට ගිහින් හාන්සි පුටුවක වාඩිවෙලා පොත කියවන්න ගන්නවා. ඇයට එහා පැත්තෙන් තවත් අයෙක් හාන්සි වෙලා සඟරාවක් කියවනවා. මේ දෙන්නා අතර ඉඩෙහි පොඩි මේසයක් තියෙනවා. ඒකෙ තමයි බිස්කට් පැකට් එක තිබුනේ.

පොත කියවන අතරේ ඈ බිස්කට් පැකට් එකෙන් බිස්කට් එකක් ගත්තා. ඒත් එක්කම අනෙක් පස හිටපු මිනිසාත් එයින් බිස්කට් එකක් ගත්තා. ඇයට තරහක් ආවත් මුකුත් කිව්වේ නෑ. “මට තරහා ගිහින් තිබුන වෙලාවක නම් මම දෙනවා මේ මිනිහට හොඳවයින් පාරක්” ඈ තනිවම සිතුවා.

ඇය ගත්ත සෑම බිස්කට් එකකටම ඔහුත් එක බැගින් ගත්තා. මේ හැසිරීම ඇයව කෝප කළත් ගුවන් යානය එන නිසා ගැටුමක් ඇති කර ගැනීමට ඇයට ඕන උනේ නෑ.

ඔහොම යනකොට එක බිස්කට් එකක් පමණක් ඉතුරු උනා. “දැන් බලමුකෝ මෙයා මොකද කරන්නේ කියලා” ඇය තනිවම සිතුවා. ඈ දෙස බැලූ මිනිසා ඒ බිස්කට් එක අරන් දෙකට කඩලා ඇයට භාගයක් දුන්නා.

“මෙයා නම් ඕනවට වැඩියි.” ඇයට සිතුනා. තරහා ගිය පාර පොතත් දමලා ගහලා ඈ වෙනත් තැනකට ගියා.

ගුවන් යානය ආවම ඈ ගිහින් වාඩි උනා. ඇගේ අව් කණ්නාඩි යුගලය ගන්න අත් ඇගේ බෑගය ඇරියා. පුදුමයකට මෙන් කඩපු නැති බිස්කට් පැකට් එකක් ඒකෙ තිබුනා. ඇයට තදබල ලැජ්ජාවක් දැනුනා. ඇයට තේරුම් ගියා ඈ වැරදි බව. ඇයට අමතක වී තිබුනා ඈ බිස්කට් පැකට් එක ඇගේ බෑගයේ දමාගත් බව. ඒ මිනිසා කිසිම තරහක් නැතිව ඔහුගේ අවසන් බිස්කට් එකත් ඈ සමග බෙදාගෙන තිබුණා.

ඈට තරහා ගිහින් තිබුන වෙලාවේ ඈ සිතුවේ ඇගේ අවසන් බිස්කට් එක ගැනයි. ඒත් දැන් සමාව ගන්නවත් තේරුම් කර දෙන්නවත් ඇයට අවස්ථාවක් නැති බව වැටහුණා. අපේ ජීවිතයට ආපසු නොලැබෙන දේවල් 4 ක් තියෙනවා. ඒ තමයි

  1. විසිකළ පසු ගලක් 
  2. පැවසූ පසු වචනයක්  
  3. නැතිවුනු පසු අවස්ථාවක් 
  4. ගතවුණු පසු තත්පරයක්

ඒක නිසා හැම පුංචි සිදුවීමකටම පෙර දෙවරක් සිතන්න. ඔන්න මේ කතාවෙන් අපේ මල් දෙවැටේ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි සමහර දේවල් ආයෙත් නිවැරදි කරන්න බැරි බව.


මල් දෙවැට එක්ක එකතු උන අපේ යාලුවන්ට අද කියවන්න ලැබෙන්නේ ආදර කතාවක්. අපේ තරුණ යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි. කියවලාම බලන්නකෝ.
ඔන්න එක තරුණ පෙම්වතුන් යුවලක් හිටියා. මුල ඉඳලම මේ දෙන්නාගේ සම්බන්ධයට ගැහැණු ළමයාගේ ගෙදරින් විරුද්ධ උනා. ඒකට හේතුව උනේ පිරිමි ළමයාගේ පවුල් පසුබිමයි. මේ දෙන්නා විවාහ උනොත් තමන්ගේ දුවට මුලු ජීවිතේම දුක් විඳින්න වෙයි කියලයි මේ දෙමව්පියන් හිතුවේ.
දෙමව්පියන්ගෙන් එල්ල උන පීඩනය නිසාම මේ  දෙන්නා අතර නිතරම රණ්ඩු ඇති උනා. මේ හැම වෙලාවකදිම මේ ගැහණු ළමයා අහන එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි, “ඔයා මට කොච්චර ආදරේද?” කියන එක.
මේ පෙම්වතා කතාවේ එතරම් දක්ෂයකු නොවන නිසා මේක හරියට තේරුම් කරන්න බැරි උනා. මේ ගැන මේ ගැහැණු ළමයා කණස්සල්ලෙන් පසු වුනේ. පවුලේ පීඩනයත් එක්ක හැම වෙලාවෙම ඈ තරහා පිටකලේ පිරිමි ළමයාගේ පිටින්. ඒත් ඔහු නිහඬවම මේ තරහාවන් ඉවසා දරා ගත්තා.
අවුරුදු කීපයකට පස්සේ මේ පෙම්වතාට උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න  සිදුවුනා. ඒ යන්න කළින් ඔහු තම පෙම්වතියට මෙහෙම කිව්වා. “මං කතා කරන්න ඒ තරම් දක්ෂයෙක් නෙවෙයි. ඒත් මම එක දෙයක් දන්නවා. ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඔයා අවසර දෙනවා නම් මං ඔයාව මගේ ජීවිත කාලය පුරාවටම බලා ගන්නම්. ඔයාගේ දෙමව්පියන්ට මං මට පුලුවන් විදිහට කතා කරන්නම්. ඔයා මාව බඳිනවද?”
මේ පෙම්වතිය කැමති උනා. කොහොමහරි අවසානයේදී මේ  ගැහැණු ළමයාගේ ගෙදරින් කැමැත්තත් ලැබුණා. රට යන්න කලින් මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා.
මෙහෙම කාලය ගත උනා. අමාරුවෙන් උනත් මේ දෙන්නා Email හා දුරකතන ඇමතුම් මගින් මේ දෙන්නාගේ සම්බන්ධය ගෙන ගියා.
එක් දවසක් මේ ගැහැණු ළමයා වැඩට යනකොට ඇයව පාරේ යන වාහනයක් හප්පගෙන ගියා. සිහිය එන්කොට ඈ හිටියේ රෝහලේ ඇඳක් උඩ. දෙමව්පියන් ඇගේ දෙපසින් සිටියා. ඈ තේරුම්ගත්තා ඇයට හුඟක් තුවාල වෙලා කියලා. ඇගේ මව අඬනකොට ඇයව සනසන්න මේ ගැහැණු ළමයාට සිතුනා. ඈ කතා කරන්න උත්සහ කළත් ඇයගේ හඬ ගොලු වෙලා.
දොස්තරවරු කිව්වේ මොළයට සිදුවුනු කම්පනය නිසා ඇගේ හඬ අහිමිව ඇති බවයි. රෝහලේ හිටපු විදිහටම ඈ ගෙදරදිත් නිහඬවම හැඬුවා. දුරකතනය නිතරම නාද උනා. ඒ හැම විටම ඈට දැනුනේ හදවතට කටුවකින් අනින තරම් වේදනාවක්. ඇය නිසා ඔහුගේ ජීවිතයත් විනාශ නොකිරීමට ඈ ඉටා ගත්තා. අවසානයේ ඈ ඔහුට මෙසේ ලියුමක් ලිව්වා.
“මට තවත් බලන් ඉන්න බෑ. මං ගැන තවදුරටත් බලාපොරොත්තු තියන් ඉන්න එපා.”
මේ ලිපියත් එක්ක ඈ විවාහ ගිවිස ගත් මුද්දත් යැව්වා. ඔහුගෙන් දහස් ගනන් පිළිතුරු ලිපි, දුරකතන ඇමතුම් ආවත් ඇයට කළ හැකි එකම දේ උනේ නිහඬව හැඬීම පමණයි.
මේ හැම දෙයක් ගැනම අමතක වෙන්න කියා සිතූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ පදිංචියත් වෙනස් කලා.
අලුත් පරිසරයට මේ ගැහැණු ළමයා හැඩ ගැහුණා. ඈ ගොලු භාෂාවත් ඉගෙන ගත්තා. ඈ ටිකෙන් ටික ඔහුගේ මතකයන් අමතක කරන්න උත්සහ කළා. එක් දිනක් ඇගේ යාලුවෙක් ඇයට ආරංචියක් ගෙනාවා. ඒ ඇගේ පෙම්වතා ආයෙත් තම රටට ඇවිත් කියන ආරංචිය. ඇය යාලුවාට කිව්වා ඈට සිදු වුන කිසිවක් ඔහුට දැනගන්න තියන්න එපා කියලා. කල් යනවිට ඔහු ගැන කිසිම ආරංචියක් නැති උනා.
අවුරුද්දකට  පසු ඇගේ යාලුවා ලියුමක් රැගෙන ආවා. ඒකේ තිබුනෙ ඔහුගේ විවාහයට ආරාධනා පතක්. ඈ ගල් ගැහුණා. සැලෙන හදින් ආරාධනා පත විවෘත කළා. ඒත් පුදුමයකට වගේ ඒකේ තිබුනේ ඇගේ නම.
මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියා අහන්න ඈ ඇගේ යාලුවා දිහා බලනකොට ඇගේ පෙම්වතා ඈ ඉදිරියෙන් සිටගෙන් හිටියා. ඔහු සංඥා භාෂාව යොදාගෙන මෙසේ කීවා. “මං මේ අවුරුද්දම ගෙව්වේ ගොලු භාෂාව ඉගෙන ගන්න. මං ඔයාට මතක් කරන්න කැමතියි මං මගේ පොරොන්දුව අමතක කලේ නැති බව. මට ඔයාගේ කටහඬ වෙන්න තව එක අවස්ථාවක් දෙන්න. මං ඔයාට ආදරෙයි.”
ඒත් එක්කම ඔහු ඇඟේ වෙදැඟිල්ලට මුදුව දැම්මා. අවසානයේ ඈ සිනාසුනා.
ඔන්න ඕක තමයි අද දවසේ මල් දෙවැටේ ආදර කතාව. ඔයාලගේ අදහස් මේ මල් දෙවැට Blog අඩවියට ගොඩක් වටිනවා. ආයෙත් හමුවෙන තෙක් මල් දෙවැටෙන් සමුගන්නම්.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට